අපූරු නවාතැන

ජීවිතය කියන්නේ හරිම අපූරු නවාතැන්පොළක්. ඒ නවාතැන්පොළේ අපට විවිධ මිනිසුන් හමු වෙනවා.

පොඩ්ඩක් මතක් කරන්න…

පුංචි කාලේ ඉඳලා ඔයාට හම්බවෙලා තියෙන අය ගැන…

අම්මා තාත්තාගෙන් පස්සේ පුංචි කාලේ ඉඳලා විවිධ විදිහේ විවිධ ආකාරයට සිතන පතන බොහෝ අය අපට හමුවෙලා තියෙනවා නේද?

ඒ අය අතර අපේ ජීවිතයට පාඩමක්, අත්දැකීමක් ලබා නොදී ගිය අයෙක් ඉන්නව ද කියලා හිතලා බලන්න.

බොහෝ දෙනා අපේ ජීවිතයට පාඩමක් කියලා දුන්නා. නැත්නම් අත්දැකීම් එකතු කරලා දුන්නා. ඒ අත්දැකීම් එක්ක අපි අපේ ජීවිතය ගැන පරිණතව හිතන්න පටන් ගත්තා නේද? ඒ පරිණතභාවයත් එක්ක අපි ප්‍රශ්නයක් දිහා බලන විදිහ ගැටලුවක් විසඳන ආකාරය වෙනස් වුණා නේද?

ඒ කියන්නේ සතුටක් ඉතිරි කරලා ගිය අය වගේම දුකක් ඉතිරි කරලා ගිය අයත් අපේ ජීවිතයට වටිනවා කියන එක.

ඒ අය තමයි අපට ජීවිතය ගැන වෙනස් විදිහට හිතන්න කියලා දුන්නේ.

ඉතින් ඔයාගේ ජීවන ගමනේ තව බොහෝ දුර යන්න තියෙනවා. ඒ දුර ගමනේදීත් තව තව අය ළංවේවි. වෙන් වේවි.

නමුත්…

මතක, අත්දැකීම් ඔබ ළඟ ඉතුරු කරලා යාවි.

සමහර බැඳීම් අපෙන් ඈත් වෙන කොට දරාගන්න හරිම අපහසුයි. ඒ අපහසුතාව දරාගන්න බැරුව අපි අපේ ජීවිත ගැන වැරදි තීරණ ගන්න පෙලඹෙනවා.

නමුත් ඔයා කාලයට ඒ බැඳීම් භාර දුන්නොත් කාලය ඔයාට හරිම උත්තරය ලබා දෙනවා. ඒ උත්තරය සදාකාලික උත්තරයක්. ඒ සදාකාලික උත්තරය නැවත ජීවිතය වෙනස් කරනවා. අලුත් පාරක් හොයලා දෙනවා. මේ ජීවිතය ගලාගෙන යන්නේ අන්න එහෙම.

අපි බැඳීම් එක්ක ගෙවන මේ ජීවිතය ලෙහෙසි පහසු නැහැ. නමුත් අල්ලා ගැනීම් මැදහත් සිතින් දරාගන්නට හැකියාව ඔයා ප්‍රගුණ කළොත් ඔයා ජීවිතයේ යථාර්ථය දකින්න පුළුවන් සුන්දර මනුස්සයෙක් වෙනවා.

හිතන්න යමක් මම ඔබට ඉතිරි කරනවා.

 

මම බුද්ධිකා කාරියවසම්.

Facebook
Facebook