නොමිලේ ටියුෂන්

කොයිතරම් දක්ෂකම් තිබුණත් මුදල් තමයි හැමදෙයක්ම තීරණය කරන බලවතා වුණේ.

ආනන්ද් කුමාර් කුඩා කාලයේ ඉඳන්ම ගණිතයට දක්ෂ කෙනෙක්. එයා හිටියේ බිහාර් ප්‍රන්තයේ පට්නා ගමේ. සංඛ්‍යා න්‍යාය එයාට කජු කනවා වගේ. සමහර දවස් එයා පට්නාවල ඉඳන් වරණාසිවලට ආවේ පුස්තකාලයේ පොත් කියවන්න. පොත් කියවලා නිකං හිටියේ නෑ. සමහර සඟරාවල අහපු ප්‍රශ්නවලට උත්තර ලියලා යැව්වා. ප්‍රහේලිකා පිරෙව්වා, ගණන් හදලා යැව්වා. ඔන්න දවසක් පිටරට සඟරාවකට ලියපු ලිපියක් නිසා ආනන්ද්ගේ ජීවිතය වෙනස් වුණා. ලේසිපාසු තැනක් නෙමෙයි, ඔහුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට තෝරාගෙන තිබුණා.

ලොකුම ප්‍රශ්නය… කෝ සල්ලි?

ආනන්ද්ගේ තාත්තා ගියා බැංකුවකට ණයක් ඉල්ලගන්න.

අධ්‍යාපනයට කියලා ණය දෙන ක්‍රම නෑ. හැම බැංකුවකින්ම ආනන්ද්ගේ තාත්තට දුන්න උත්තරය තමයි “ණය දෙන්න බෑ” කියන එක.

ඒ හිතේ අමාරුවට තාත්තා අසනීප වෙනවා. ආනන්ද් කුමාර්ට වෙන කරන්න දෙයක් නෑ. ගෙදර ප්‍රධානියා විදිහට වැඩ කරන්න වෙනවා. ඒ අතරේ තමයි තාත්තාගේ මරණය සිදු වෙන්නේ.

දැන් කබලෙන් ලිපට…

වෙන කරන්න දෙයක් නෑ.

ආනන්ද් ජීවත් වෙන්න පපඩම් විකුණනවා. හදලා දුන්නේ එයාගේ අම්මා. කේම්බ්‍රිජ් එකට තෝරාගත්ත ලියුමත් පපඩමක ඇසුරුමක් වෙලා යනවා ආනන්ද් බලන් හිටියා.

IIT (Indian Institute of Technology) කියන්නේ ප්‍රමුඛ උසස් අධ්‍යාපන ආයතනයක්. ඒකේ ඉගෙන ගත්ත ඕනෑම අයෙක් හොඳ වෘත්තිකයෙක් වෙනවා. මේ නිසා ඒකට ඇතුල් වෙන්න තිබුණේ තරගකාරි විභාගයක්.

සෑම වසරකම සිසුන් මිලියනයක් ප්‍රවේශ විභාගයට පෙනී ඉන්නවා. අවස්ථාව ලැබෙන්නේ ඉන් දසදහසකට විතරයි.

ආනන්ද්ගේ හැකියාව නිසා එයාට පුළුවන් වෙනවා මේ IIT ප්‍රවේශ විභාගයට සූදානම් වන දරුවන් සඳහා ඇති අමතර ඉගෙනුම් පන්තියක ගුරුවරයෙක් විදිහට වැඩ කරන්න.

ජීවිතයේ ප්‍රශ්න එකින් එක විසඳීගෙන යද්දී මේ අමතර පංතියේ ජනප්‍රිය ගුරුවරයෙක් විදිහට ආනන්ද් පත් වෙනවා.

හැබැයි එක දවසක් ඔහුගේ හිත කලකිරවන දෙයක් වෙනවා.

තරමක් දුගී දරුවෙක් මේ ප්‍රවේශ අමතර පංතියට ආවත් අය කරන අධික මිල සහ වෙනත් හේතු නිසා ඔහුට මේ දොර වැහෙනවා.

ගුරුවරයා තුළ ඉන්න සංවේදී මනුෂ්‍යත්වය ආනන්ද් තුළ අවදි වෙනවා.

ආනන්ද් හිටපු තැනින් අයින් වෙලා 1992දී මේ IIT ප්‍රවේශ විභාගය ඉලක්ක කරගෙන පුංචි ගණිත පාසැලක් (උපකාරක පන්තියක්) ආරම්භ කරනවා.

ඒකේ නම රාමනුජන්.

තමන් වගේ දක්ෂ ඒත් ඉගෙනුමට මුදල් නැති අසරණයන් වෙනුවෙන් පිහිට වෙන්න ආනන්ද් තීරණය කරනවා. රාමනුජන් ගණිත පාසැලට ඇතුළත් වෙන්න සුදුසුකම් ඇති, ඒත් ආර්ථික අපහසුකම් ඇති දිළිඳු දරුවන් වෙනුවෙන් ඔහු ශිෂ්‍යත්ව ක්‍රමයක් හඳුන්වා දෙනවා.

ඒකෙ නම Super 30.

IIT ප්‍රවේශ විභාගයෙන් ශිෂ්‍යත්ව ලැබෙන්නේ 30 දෙනෙකුට විතරයි. අනික් දේ තමයි ඒ විභාගය ඉලක්ක කරගත් ටියුෂන් මාෆියාව. ඒක ආනන්ද් හිතනවාටත් වඩා විශාලයි, සංවිධානාත්මකයි.

ආනන්ද් Super 30 ශිෂ්‍යත්ව ගත්ත දුප්පත් ළමයින්ට කෑම බීම නවතැන් පහසුකම් විතරක් නෙමෙයි, ජිවිතය ජය ගන්න හැටිත් කියලා දුන්නා. හැම පාඩමක් තුළම ප්‍රයෝගික පුහුණු තිබුණා. අධ්‍යාපනිකව විතරක් නෙමෙයි අධ්‍යාත්මිකවත් ඔවුන්ව ඉහළට ගෙන ගියා.

ආනන්ද් මේ හැම දෙයක්ම කළේ කිසිම මුදලක් ගන්නේ නැතිව.

මේ ළමයින්ගේ සෑම වියදමක්ම දරන්න ආනන්ද්ට බොහෝ දුෂ්කරතාවලට මුහුණ දෙන්න වුණා.

වෙනත් අධ්‍යාපන ආයතනවල ඉන්න අයිතිකරුවන් අනන්ද්ට මැර ප්‍රහාර පවා සිදු කළා. ළමයින්ට කන්න දෙන්න ගෙදර තියන බඩුමුට්ටු පවා ඔහු විකුණුවා. ඒ හැම දුකක්ම උපේක්ෂාවෙන් ඉවසුවා.

ආනන්ද් ජයග්‍රහණය කළා… ඔහුගේ පළමු Super 30 කණ්ඩායමම IIT විභාගය සමත් වුණා. ඒ කියන්නේ විභාගයට ඉදිරිපත් කළ 30න් සියලුම දෙනා සමත් වුණා.

ආනන්ද් එයින් නතර වුණේ නෑ.

සෑම වසරකම ඔහු Super 30 කණ්ඩායමක් හැදුවා.

2008 සිට 2010 යන කාලයේ Super 30 අධ්‍යාපන මධ්‍යස්ථානයේ ඉගෙන ගත් සියලුම සිසුන් IIT විභාගය සමත් වුණා.

එක දිගට වසර 3ක් ප්‍රතිඵලය 100%ක් වුණා.

මේ නිසාම 2010 වසරේදී ටයිම්ස් සඟරාව Super 30 ආසියාවේ හොඳම ඉගෙනුම් මධ්‍යස්ථානය විදිහට නම් කළා.

ඇමරිකානු හිටපු ජනපති බැරක් ඔබාමා ඉන්දියාවේ හොඳම අධ්‍යාපන ආයතනය විදිහට Super 30 ඇගයීමට ලක් කළා.

2011දී අනන්ද් කුමර් “රාෂ්ඨරිය බාල් කල්‍යාන්” ගෞරව නාමයෙන් පිදුම් ලැබුවා.

අදටත් ඔහු, ජිවිත තර්ජන සහ අනතුරු මැද තවත් සුපිරි 30ක් හදන්න තාමත් උගන්වනවා.

මෙන්න මේ කතාව පාදක කරගෙන 2019දී අපූරු චිත්‍රපටයක් බොලිවුඩයෙන් බිහිවෙනවා. ඒකෙ නම Super 30.

රිතික් රෝෂන් කියන්නේ බොලිවුඩයේ සිහින කුමරෙක්. කොයි මිල් ගයා, ක්‍රිෂ්, මොහොන්දොජාරෝ, ඩූම් වැනි අති ප්‍රබල සිනමාපටවලට රංගනයෙන් දායකත්වය ලබා දුන්න රිතික්ගේ, ඒ සියල්ලගෙන්ම වෙන් වූ වෙනස් වූ චිත්‍රපටයක් තමයි Super 30.

දැනට IMDb ශ්‍රේණිගත කිරීම්වලදී 7.9/10 ලබා ගන්නට Super 30 චිත්‍රපටයට හැකිවෙලා තියනවා. පැය 2යි විනාඩි 35ක ධාවන කාලයක් නොදැනීම ගලාගෙන යන Super 30 චිත්‍රපටය නොබැලු කෙනෙක් ඉන්නවා නම් ඒක ජීවිතයේ දරුණුම අතපසුවීමක් කියලා මට හිතුණා.

වැදගත්ම දේ ඒක නෙමෙයි…

අපේ රටේ සිටින් සෑම ගුරුවරයෙක්ම ගුරුවරියක්ම අනිවාර්යයෙන්ම මේ Super 30 චිත්‍රපටය නැරඹිය යුතුමයි කියලා මම යෝජනා කරනවා.

හිතෙන්නේ නැද්ද ඔබටත් ආනන්ද් කෙනෙක් වෙන්න…

නැවත හමුවෙමු.
මොහාන් සුරවීර

Facebook
Facebook