ලොවක් දිනන්න දිරි දෙන නිවිතිගල

අප එකිනෙකා අතර සන්නිවේදනය සිදු කිරීමට භාෂාව වැදගත් වෙනවා. අපේ මව් භාෂාව වගේම වෙනත් භාෂා දැනගෙන ඉන්න එකත් ගොඩක් වටිනවා. විශේෂයෙන්ම ඩිජිටල්කරණය වුණ නවීන ලෝකය තුළ ඉදිරියට යන අපිට ඉංග්‍රීසි භාෂාව හරිම වැදගත්. ගොඩක් දෙනෙක් අමාරුයි කියන ඉංග්‍රීසි භාෂාව ලේසියෙන් වගේම ප්‍රායෝගිකව ඉගෙන ගන්න ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාවක් සංවිධානය කරන්න බ්‍රැන්ඩික්ස් නිවිතිගල ආයතනය කටයුතු කළා.

2023 වසරේ කාර්ය මණ්ඩල ඇගයීමට අනුව පැවැත්වූ ONE ON ONE සැසිවලදී ඉදිරිපත් වුණ පුහුණු අවශ්‍යතා අනුව තමයි කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම ඉහළ නැංවීමේ අරමුණෙන් මේ පාඨමාලාව ආරම්භ වෙන්නේ. මූලික ව්‍යාකරණ, වචන මාලා පුහුණු කිරීම, ලිවීමේ හැකියාව වැඩිදියුණු කිරීම මේ පාඨමාලාව මගින් සිදු කෙරෙනවා. ආයතනයේ සහකාර කළමනාකාර කපිල හේවගේ මහතා තමයි මේ පාඨමාලාවට සම්පත් දායකත්වය ලබා දුන්නේ.

මාස තුනක පාඨමාලාවක් වන මෙය සාර්ථකව නිම කරන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සහතිකපත් පිරිනැමීමට ද ආයතනය කටයුතු සංවිධානය කරලා තියෙනවා. පෙර හා පසු ඇගයීම් සිදු කරමින් ගුණාත්මකභාවයෙන් යුතු ඉංග්‍රීසි භාෂා පාඨමාලාවක් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ලබා දීම තමයි බ්‍රැන්ඩික්ස් නිවිතිගල ආයතනයේ අරමුණ වෙන්නේ. මේ පාඨමාලාව හදාරන සියලු දෙනාට එය ජීවිතයේ ඉතා වටිනා අවස්ථාවක් වන බව නම් නොඅනුමානයි.