ඉපැරණි බෙල්ලන්විල රජමහා විහාරය

කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි ඉපැරණි රජමහා විහාරයක් වූ බෙල්ලන්විල රජමහා විහාරයේ ඉතිහාසය දෙවනපෑතිස් රජ සමය දක්වා දිවෙන එකක්. දේවානම්පියතිස්ස රජතුමා විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර ලංකාද්වීපය පුරා බෙදාහැර ඇති අතර එහි එක් අංකුරයක් බෙල්ලන්විල රජමහා විහාරස්ථාන භූමියේ රෝපණය කර තිබෙනවා. ඒ බෝධි අංකුරය අද වන විට විශාල බෝධි වෘක්ෂයක් ලෙස වැඩී ඇති අතර බොහෝ සැදැහැවතුන්ගේ වන්දනාමාන ලබමින් එම වෘක්ෂය බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ විරාජමානව බැබළෙනවා.

ඉතිහාසයේ එක්තරා කාලයකදී බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වල්බිහි වී ගොස් තිබූ අතර විහාරස්ථානය ආසන්නයේ තිබෙන ඇළ දිගේ පාරුවකින් ගමන් ගත් තැන්ගොඩතැන්නේ හිමියන් තමයි නැවත මේ විහාරස්ථානය ගොඩනගා තිබෙන්නේ.

මේ විහාරස්ථානයේ පිළිම ගෙය, අපවත් වී වදාළ බෙල්ලන්විල සෝමරතන හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ වර්ෂ 1948දී සාදා නිම කර තිබෙනවා. පිළිම ගෙය තුළ ඉතා අපූරු කලාත්මක ප්‍රතිමා සහ සිතුවම් තිබෙන අතර ඒ ප්‍රතිමා නිර්මාණය කර තිබෙන්නේ වැලිගම ප්‍රදේශයේ දක්ෂ ප්‍රතිමා නිර්මාණ ශිල්පියෙකු වූ ලිවේරා නම් ශිල්පියෙකු විසින්. හිඳි පිළිම, හිටි පිළිම, සැතපෙන පිළිම වගේම පිරිනිවන් මංචකය ද විහාරස්ථානයේ වන ප්‍රතිමා අතර තිබෙනවා.

විහාරස්ථානයේ වන බිතුසිතුවම් සෝමබන්දු විද්‍යාපති ශිල්පියා අතින් නිමවුණු බව බෙල්ලන්විල රජමහා විහාර ඉතිහාසයෙහි සඳහන් වෙනවා. ඒ වගේම තමයි ඔහු ඉන්දියාවේ චන්ද්‍රබෝස් නම් දක්ෂ සිතුවම් නිර්මාණ ශිල්පියෙකුගෙන් ගුරුහරුකම් ලබා ගෙන මේ සිතුවම් ඇඳ තිබෙනවා. ඉතා සෞම්‍ය වර්ණ භාවිතයකින් නිමවා ඇති බෙල්ලන්විල රජමහා විහාරයේ සිතුවම්වල තැඹිලි වර්ණයේ ප්‍රභේද භාවිත කර ඇති බව විශේෂ ලක්ෂණයක් විදියට දකින්න පුළුවන්.

ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට නිරන්තරයෙන් බෞද්ධ සැදැහැවතුන් පැමිණෙන අතර බොහෝ දිනවල විහාරස්ථානය සැදැහැවතුන්ගෙන් පිරී ගොස් තිබෙන අයුරු දකින්න පුළුවන්.

(අපට මෙම තොරතුරු ලබා දුන්නේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසිනි)

Facebook
Facebook