දිනන අනාගතයක අඩිතාලම P.A.C.E.

හැකියාවන් පිරි තාරුණ්‍යයට ජීවිතයේ නව ඉසව් සොයා යන්නට අත්වැලක් වෙන්න බ්‍රැන්ඩික්ස් සමූහය දෙවරක් සිතන්නේ නැති බව ඔයාලා දන්නවා. පිබිදෙන තාරුණ්‍යයට ශක්තියක් වීමේ අරමුණ ඇතිව ආරම්භ වුණ P.A.C.E. පුහුණු වැඩසටහන සාර්ථකව නිම කළ බ්‍රැන්ඩික්ස් කටුනායක ආයතනයේ සාමාජික සාමාජිකාවන්ට සහතිකපත් ප්‍රදානය කිරීම පසුගිය දා සිදු කළා.

බ්‍රැන්ඩික්ස් කටුනායක ආයතනයේ සාමාජික සාමාජිකාවන් 88 දෙනෙක් මෙම සහතිකපත් ප්‍රදානෝත්සවයේදී සහතිකපත් ලබා ගත්තා. කටුනායක ශ්‍රවණාගාර පරිශ්‍රයේ පැවති මෙම සහතික ප්‍රදානෝත්සවය සඳහා කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ අධ්‍යක්ෂ ඒ.එස්.කේ.ටී. රන්ජන් සිබේරා, සහකාර කම්කරු කොමසාරිස් පී.ඒ.එස්.සී. පතිරාජ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එෆ්.සී. සමන් පෙරේරා සහ මීගමුව දිස්ත්‍රික් මහා රෝහලේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වෛද්‍ය රසික ලියනගේ යන මහත්වරුන් ද බ්‍රැන්ඩික්ස් සමූහයේ ප්‍රධාන කළමනාකාරීත්වය ද සහභාගී වුණා.

බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ගේ ජීවන ගමනට ඉතා වටිනා මාර්ගෝපදේශ ලබා දෙන පුහුණු වැඩසටහනක් වන P.A.C.E. වැඩසටහන හැදෑරීමෙන් රැකියාවට වගේම පෞද්ගලික ජීවිතයට ද ඉතා හොඳ මඟ පෙන්වීමක් ඔවුන්ට ලැබෙනවා. ඔවුන්ගේ පෞරුෂ හා නායකත්ව හැකියාවන් වර්ධනය කිරීම ද මෙම වැඩසටහන මගින් සිදු කෙරෙන නිසා ඕනෑම අවස්ථාවකදී නොබියව ගැටලුවලට මුහුණ දී පිබිදුණු විසඳුම් සමග ලොවක් ජය ගන්න ඔවුන්ට හැකි වෙනවා.

P.A.C.E. පුහුණු වැඩසටහන සාර්ථකව නිම කළ බ්‍රැන්ඩික්ස් කටුනායක ආයතනයේ සාමාජික සාමාජිකාවනි, ඔබ සැමට වියමන් පවුලේ උණුසුම් සුබ පැතුම්!

Facebook
Facebook