කදුරු

ජීවිතේ කතාවට හව්හරණ කැන්දා
නුඹේ රුව මගෙ අතින් චිත්‍රයට ඇන්දා
පීනසේ තෙලට කෙස් සුදු වෙච්ච හන්දා
තාත්තගෙ සෙනෙහසට මං වැටක් බැන්දා

උගුරු දඬු පළාගෙන කටහඬම ගොරෝසූ
වෙච්ච පලියටම මං නුඹව අත ඇරාපූ
නුරුස්සන බැල්මවත් නොබලා මඟ හැරාපූ
තාත්තට බඩගින්න නැද්ද නිදි වරාපූ

පපු කුහර පළාගෙන ලේ පැන්න කැස්ස
මං තාම දන්නෙ නෑ එහි තියෙන කොස්ස
පිළිකන්නෙ රතුපාට වෙච්චි තණ බිස්ස
විතරමයි දන්නෙ ඔය රෝගයේ අස්ස

සුව වෙන්න බෙහෙත් පෙති කසායක් නැති ද
ඒත් නැතිනම් ගන්න මුදල් අගහිඟ ද
බිත්තියේ අම්මා නම් මොනවා දන්නව ද
ගල් වළේ බර වැඩිම ණය ද? කළු ගල් ද?

අවසාන වතාවෙත් පිළිතුරක් නැද්ද
වැඩියෙන්ම ආදරේ අම්මට ද මට ද
වතුසුද්ද මල් මාලෙ කොයි තරම් කැත ද
තාත්තට කදුරු ගෙඩි ඒ තරම් රහ ද

උමේෂා පතිරණ
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook
Facebook