සියපතක් සේ පිබිදෙන ඇයට පුද දුන් හරසර

සියපතක් මඩ සහිත ජලයේ හටගෙන මඩෙහි නොගෑවී පරිසරය අලංකාර කරනවා. පාරිශුද්ධත්වයේ සංකේතයක් වූ සියපත මෙන් මඩ සහිත ජලයෙන් ඉහළට මතු වී සියලු දුක් කම්කටොලු සිය ආත්ම විශ්වාසයත්, ධෛර්යයත් තුළින් සුබවාදී වෙනසකට පරිවර්තනය කරමින් ලොවක් ලස්සන කරන්නට කාන්තාවන්ට ද ඇත්තේ අපූර්ව හැකියාවක්. සියුමැලි සිත් ඇති ඇය දියණියක්, සහෝදරියක්, ආදරවන්තියක්, බිරිඳක්, මවක් ලෙස භූමිකාවන් රැසක් සාර්ථකව ඉටු කරමින් රැකියාව ද සාර්ථකව සිදු කරන්නේ සියුමැලි ඈ තුළ ඇති අසීමිත ශක්තිය ද ලොවටම පෙන්වමින්. එවන් දිනන දියණියන් සමරමින් ජාත්‍යන්තර කාන්තා දිනයේදී බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය අපූරු සැමරුම් වැඩසටහන් මාලාවක් සංවිධානය කළා.

අභිමානවත් දැයක සියපතක් මෙන් පිපි සාමාජිකාවන්ට සෙත්පතා විශේෂ නෙළුම් මල් පූජාවක් බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය විසින් පැවැත්වූ අතර ඔවුන්ගේ මව්වරුන්ට සෙත්පතා යුගාසන කාව්‍යමය මව් ගුණ වන්දනා වැඩසටහනක් සහ එළඟි තෙල් පහන් පූජාවක් ද පැවැත්වුණා. මේ කටයුතු සියල්ල ඉතා හොඳින් සහ ක්‍රමවත්ව සංවිධානය කරන්න ආයතනයට හැකි වුණා වගේම සාමාජිකාවන් ද ඉතා උනන්දුවෙන් සිය දායකත්වය මේ වැඩසටහන් සඳහා ලබා දුන්නා.

මේ දේවල්වලට අමතරව ආයතනික මනෝ උපදේශන අංශය මගින් කාන්තා දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් පැවැත්වුවා. ඒ වගේම බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනයේ රාජකාරි කරන ගැබිනි මව්වරුන් වෙනුවෙන් රසවත් සහ පෝෂ්‍යදායී දිවා ආහාර වේලක් ලබා දෙන්නත් ආයතනයේ පරිපාලන අංශය කටයුතු කළා.

මේ වගේ වැඩසටහන් ගණනාවක් පවත්වමින් අපේ දිනන දියණියන් සමරන්න බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතන කටයුතු කළේ රටේ ආර්ථිකයට විශාල ශක්තියක් වූ ඇයගේ නොසැලෙන දිරියට ගෞරව පුද කිරීම ආයතනයේ යුතුකමක් නිසයි. ආදරණීය දිනන දියණියනි, ඔබ සියලු දෙනාට වාසනාවන්ත අනාගතයකට සුබ පැතුම්!

Facebook
Facebook