ඇත්තටම ගැහැනුන් මල් වගේ ද?

ගෑනු හරියට මල් වගේමයි කවුද කියනවා මටත් ඇහුණා
ගල් වගේ දරදඬු කොරාගෙන ඉන්න උන් ගැන දුකත් දැනුණා
කවුරු ආ ගිය මඟක තනියම හයිය දෙකකුල්වලින් දුවනා
මාත් මහමේරුවක් වාගෙයි කියලා මට ආයෙමත් හිතුණා

හති වැටෙන්නට දුවපු පිම්මක් නවතලා මිරිඟුවක් පස්සේ
හැරිලා බැලුවම මගේ තනියට ඉන්නවා කියු එකෙක් නැත්තේ
ගෑනු ඉපදුණේ අඬාගෙන දුක් වෙවී ඉන්න ද රැයක් තිස්සේ
හෙමින් කොඳුරපු සඳත් අද නෑ හැංගිලා කළු වලා අස්සේ

දැලි වළං කුණු හෝද හෝදා කුස්සි මුල්ලට ආසා කරනා
ගෑනු වාගෙම ලෝකෙ පරතෙර දිනන්නට ලියතඹර පිපුණා
අඳුරු ගැඹුරුම පතල් අස්සෙත් නිල් මැණික් හැංගිලා තිබුණා
හොය හොයා ඔප දමන තරමට ඒ මැණික් හරි යසට දිලුණා

ලෙඩ දුකක් ඇති බොහෝ වෙලාවට බොරු කියන්නට හරිම දස්සයි
අමනාපයක් නැතිව අපි ගැන කුස පිරෙව්වේ ඒක හින්දයි
වහං කරගෙන අපෙන් දෑසම උහුලාපු දුක් කඳුළු කන්දයි
අනේ මං දුටු යෝධ ගැහැනිය සිහි කරන් අම්මාට වැන්දයි

බැඳෙන තරමට රිදෙනවා බං ඒත් බැඳුනේ හරිම තදට
අතහරින්නට හේතු හොය හොය දිව්වෙ නෑ රැකගත්ත මිසක
කඳුළු හැඩයට උරුම කරුමෙට වෙන් කළත් ගෑනුන්ගෙ නමට
ලෝකයක් දිනවන්න ජීවය සොබාදම පැවරුවේ මවට

උමේෂා පතිරණ
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook
Facebook