ජයග්‍රහණයේ පහස 83

80 දශකය අපිට මතක හිටින්නේ ජූලි වර්ජනය නිසා. නමුත් ලෝක ඉතිහාසයේ 80 දශකයේ බොහෝමයක් පෙරළි සිදු වුණා. ක්‍රිකට් කියන්නේ කවුරුත් දන්න, හැමෝම ආස කරන ක්‍රීඩාවක්. ක්‍රිකට් ලෝක කුසලානය පටන් ගන්නේ 70 දශකයේ. වසර හතරකට වරක් පැවැත්වෙන මේ ක්‍රිකට් මහා සැණකෙළිය දිහා මුළු ලෝකයම ඇස් ඇරගෙන බලන් ඉන්නවා.

අද කතා කරන්නේ අන්න ඒ වගේ මතක තියන තරගයක කතාව.

ඒ කතාවේ කියවෙන්නේ ඉන්දියාව පළමු වතාවට ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගත්ත හැටි.

කතා නායකයා “කපිල් දේව්”

83 ක්‍රිකට් ලෝක කුසලානය ආරම්භ වෙනකොට, ඉන්දියාවේ ක්‍රිකට් තිබුණේ ඉතාම ළදරු අවධියේ. තරගයේ ප්‍රබලම කණ්ඩායම වුණේ බටහිර ඉන්දීය කොදෙව් පිල. විවී රිචඩ්සන් තමයි තරුව. ඊට අමතරව මයිකල් හෝල්ඩිං, මැල්කම් මාෂල්, ඇන්ඩි රොබට්ස්, ජොයෙල් ගානර් ප්‍රමුඛ ක්ලයිව් ලොයිඩ්ගේ හමුදාව ප්‍රතිවාදීන්ව යැව්වේ ක්‍රීඩාගාරයට නෙමෙයි ඉස්පිරිතාලෙට.

කපිල් දේව්ගේ ඉන්දියානු කණ්ඩායම අමරනාත්, මදන් ලාල්, අසාද්, රවී ශාස්ත්‍රි, දිලිප් වගේ ආධුනික ක්‍රිඩකයන්ගෙන් සමන්විතයි. තරමකට හෝ ප්‍රවීණ ක්‍රීඩකයෙක්ව සිටියේ පසු කලෙක ඉන්දියාවේ විතරක් නෙමෙයි මුළු ලෝකයම කතා කරන සුනිල් ගවස්කාර් විතරයි. හැබැයි මේ කණ්ඩායමේ ප්‍රධාන ශක්තිය වුණෙත්, කණ්ඩායම තාත්තා කෙනෙක් වගේ බලා ගත්තෙත් එහි කළමනාකරු වූ PR Man Singh.

තරග තියෙන්නේ එංගලන්තයේ. ඉන්දියානු කණ්ඩායම එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම එක්ක පුහුණු තරග 3ක් තියනවා. ඒ 3ම පරාදයි. ඊට පසුව තමයි මාධ්‍ය සාකච්ඡාව තියෙන්නේ. මාධ්‍යවේදීන් කපීල්ගෙන් ඉංග්‍රීසියෙන් ප්‍රශ්න අහනවා. කපිල් ඔවුන්ට ගැටගහගත් ඉංග්‍රීසිවලින් උත්තර දෙනවා.

මාධ්‍යවේදීන් – ඔබේ කණ්ඩායමට ලෝක කුසලානය දිනා ගැනීමට අවස්ථාවක් තියනවද?

කපිල් – අපි මෙහාට ඇවිත් ඉන්නේ දිනන්න.

මාධ්‍යවේදීන් – ලෝක කුසලානය දිනන්නද?

කපිල් – නැත්නම් වෙන මොකටද?

අන්න ඒ වගේ හීනයක් කපිල්ට මුල ඉඳන්ම තිබුණා.

තමන්ගේ හීනය උපරිමයෙන් විශ්වාස කළ කපිල් දේව්, තමන්ගේ කණ්ඩායමේ මොරාල් එක අප් කරන්න අපූරු වචන සෙට් එකක් පාවිච්චි කළා.

“එක් වරක් සාර්ථකත්වයේ රසය අත්විඳින්න. ඔබේ දිවට තවත් එය ඕනේ වෙයි”

ඔන්න තරග පටන් ගන්නවා.

ඉන්දියාවට පළමු තරගය ලැබෙන්නේ ප්‍රබල කොදෙව් කණ්ඩායම එක්ක. කපිල්ගේ ඉන්දියානු පිල කනවා කෑමක් ආයිත් ඉතිං මාස ගාණකට මතක් වෙන්න. මොකද ලොයිඩ්ගේ නායකත්වයෙන් යුත් බටහිර ඉන්දියානු කණ්ඩායම ඒ වෙනකොට පිට පිට ලෝක කුසලාන 2ක් ජයග්‍රහණය කරපු වෘත්තීමය මට්ටමේ ක්‍රීඩකයන්ගෙන් සමන්විත පිරිසක්. එයාලට ඉන්දියාව කියන්නේ නොමේරූ දරුවෙක්.

ඉන්දියානු කණ්ඩායම ඊට පස්සේ තරග කරන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම එක්ක. ඒක ඊට වඩා අමාරුයි. ඇලන් බෝඩර්, ටොම් හෝගන්, ඩෙනිස් ලිලී, ජෙෆ් තොම්සන්‍, රොඩ්නි හොග් වැන්නවුන්ගෙන් සමන්විත සුපිරි ඕස්ට්‍රේලියානු පිල ඉන්දියාව අන්ත අසරණ කරනවා.

තුන්වන තරගය සිම්බාබ්වේ එක්ක. ඒක ඉන්දියාවට ජය ගන්න ලැබෙයි යන විශ්වාසය ක්‍රීඩාලෝලීන්ට තියෙනවා. නමුත් ඒ විශ්වාසය උඩු සුළඟට අහුවෙලා ගසාගෙන යන්න ගතවෙන්නේ බොහෝම ටික වෙලාවයි. ඉන්දියන් පිලේ පළමු කඩුලු 4ම ඉතාම අඩු ලකුණු සංඛ්‍යාවකට බිඳ දමන්න ප්‍රතිවාදීන්ට හැකි වෙනවා. මේ වෙලාවේ තමයි කපිල් පිටියට එන්නේ. තමන්ගේ හීනය වෙනුවෙන් මේ ගේම් එකේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්න කපිල්ට හැකි වෙනවා.

ඉනිම අවසානයේදී කපිල්ගේ නමට ඉදිරියෙන් නොදැවී රැස් කරගත් ලකුණු 175 සඳහන් වෙලා තිබුණා.

මේ මැච් එකේ සිදු වුණ විශේෂිතම දේ තමයි අවම මාධ්‍ය ආවරණය. BBC එක පැත්ත පළාතේ නෑ. ඉන්දියාව සහ සිම්බාබ්වේ වගේ නවක කණ්ඩායම් දෙකක තරග උණුසුමින් තොරයි කියලා ඔවුන් මුලින්ම තීරණය කරලා තිබුණා. ඒ නිසා මේ අග්‍රගණ්‍ය ඉනිම කිසිම කැමරාවක සටහන් වෙලා නෑ.

කපිල්ගේ මේ ඉනිම හැමෝගෙම ඇස් අරින්නට සමත් වුණා.

ඉන්දියානු කණ්ඩායම ගැන ප්‍රශස්ත ලිපි ලියවෙන්න පටන් ගත්තා.

අපි බලමු මේ වෙලාවේ ඉන්දියාවේ මොකද තත්ත්වය කියලා.

83 ජූනි කියන්නේ ඉන්දියාව තනිකරම යුද්ධ පිටියක්.

නවාබ්පූර් ජනවාර්ගික ගිනිවලින් උණුසුම් වෙලා. අනිත් පැත්තෙන් කාශ්මීර දේශසීමාවේ පකිස්තානය එක්ක සටන.

මේ වෙලාවේ අගමැතිවරිය වුණේ ඉන්දිරා ගාන්ධි.

ඉන්දිරා ගාන්ධි කියන්නේ දේශපාලනික සූක්ෂම ගැහැනියක්. නියපොත්තේ ඉඳන් මොළේ.

ඉන්දියානු ක්‍රිකට් පිලේ නව පිබිදීම ඇය දේශපාලනිකව හසුරුවනවා.

ඉන්දියාව පුරා ක්‍රිකට් උන්මාදයක් ඇති කරන්නට ඇය අනුබල දෙනවා.

ජාති ආගම් කුල පැත්තකට දාලා රටක් විදිහට ජයග්‍රහණය කරන්න ඉන්දියානුවන් පෙළ ගැහෙනවා.

“ඉන්දියා සින්දාබාත්”

හැම ඉන්දියානු හදවතක්ම ඒ විදිහට මිමිණුවා.

අවසන් මහා තරගය ක්‍රිකට් මහගෙදර වූ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ඒ ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක්ක.

හරියට ගලිවර්ලා සහ ලිලිපුට්ටන් වගේ.

මුලින්ම පන්දුවට පහර දෙන ඉන්දියාව ඕවර් 60කදී ලබා ගන්නේ ලකුණු 183යි. ඒ අවසන් තරගයකදී කණ්ඩායමක් ලබා ගත් අවම ලකුණු සංඛ්‍යාව විදිහට එය වාර්තා කරමින්.

විස්තර විචාරකයෝ ඉන්දියාව පට්ට ගහනවා.

මේ ඉලක්කය බටහිර ඉන්දියානුවන් ඉතාම ලේසියෙන් ජය ගන්නා බව තලු මර මර රස කර කර කියෙව්වා.

කපිල් එයාගේ ටීම් එකට මෙහෙම කියනවා.

“එක් වරක් ජයග්‍රහණයේ රසය අත්විඳින්න. ඔබේ දිව හැමදාම ඒ රසය ඉල්ලයි.”

ඉන්දියානුවන් පිටියට යන්නේ කපිල්ගේ ඒ වචන ටික මුළු හදවතේම තැන්පත් කරගෙන.

ක්ලයිව් ලොයිඩ්ගේ අතිප්‍රබල පිල මේ ක්‍රිකට් ලිලිපුට්ටන් විසින් සුනු විසුනු කරලා දාන්නේ මුළු ප්‍රේක්ෂකාගාරයම තුෂ්ණීම්භූත කරලා.

අවසානයේ ලෝඩ්ස් ක්‍රීඩා පිටිය ගිගුම් දෙනවා…

“ඉන්දියා සින්දාබාත්”

නිමි.

තව කතාවකින් ආපහු හමුවෙමු.
මොහාන් සුරවීර

Facebook
Facebook