සියනෑ කෝරළයේ පින්බිම අස්ගිරිය පුරාණ ගල් ලෙන් රජමහා විහාරය

මේ උතුම් බක් පුර පසළොස්වක පොහොය දිනයේදී අපි වියමන් TV ‘වියමන් වන්දනා’ වැඩසටහන තුළින් ඔයාලට විස්තර අරන් එන්නේ ගම්පහ, අස්ගිරිය පුරාණ ගල් ලෙන් රජමහා විහාරය ගැනයි.

ගම්පහ, අස්ගිරිය පුරාණ ගල් ලෙන් රජමහා විහාරය ඓතිහාසික වටිනාකමකින් යුත් විහාරස්ථානයක්. මේ ස්ථානයට අස්ගිරිය කියන නම ලැබිලා තියෙන්නේ භූගෝලීය පිහිටීම අනුව කියලා මතයක් තියෙනවා. මනරම් සහ උස් භූමි ප්‍රදේශයක පිහිටි මේ විහාරස්ථානයට හිරු බැස යාම එහෙම නැත්නම් හිරු අස්ථානගත වීම හොඳින් දර්ශනය වෙනවා. ඒ නිසා අස්ථගිර නමින් මුල් කාලයේ මේ ස්ථානය හඳුන්වා ඇති අතර පසුව අස්ගිරිය ලෙස නම් කෙරී තිබෙනවා.

පර්වත මුදුනේ පිහිටා ඇති මෙම විහාරස්ථානයට පිවිසීම සඳහා පඩි 200කින් සමන්විත පිය ගැට පෙළක් නිර්මාණය කර තිබෙනවා. පිය ගැට පෙළ අවසානයේ පැරණි ප්‍රතිමා ගෘහය පිහිටා තිබෙනවා. පැරණි ප්‍රතිමා ගෘහය ප්‍රධාන කොටස් තුනකින් සමන්විතයි. එහි පළමු කොටස ආගමික වතාවත් සඳහා පැමිණෙන සැදැහැවතුන් සඳහා නිර්මාණය කර තිබෙනවා. ප්‍රතිමා ගෘහයේ දෙවන කොටසේ මහනුවර යුගයට අයත් සිතුවම් ඇති අතර බුදුන් වහන්සේගේ ජීවිතයේ විවිධ අවස්ථා මෙහි සිතුවම් කර තිබෙනවා. ඒ වගේම මෙම විහාරයේ ඉපැරණිම අංගයක් ලෙස බෝධීන් වහන්සේ සැලකෙනවා. සිංහල අක්ෂර සහ පූර්ව බ්‍රාහ්මීය අක්ෂර සහිත සෙල් ලිපි ද මේ විහාරස්ථානයේ දකින්න පුළුවන්.

ඓතිහාසික පින්බිමක් වූ අස්ගිරිය පුරාණ ගල්ලෙන් රජමහා විහාරය ලාංකීය අතීත ශ්‍රී විභූතිය විදහා පාමින් සියනෑ කෝරළයේ විරාජමානව බැබළෙනවා.

Facebook
Facebook