අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

අලුත් අවුරුද්ද පිළිගන්න දැන් ඔයාලා හැමෝම සූදානමින් ඇති. සුබ නැකතට අලුත් අවුරුද්දට ලකලෑස්ති වෙන ඔයාලට වියමන් අපි අලුත් අවුරුදු නැකත් සීට්ටුව අරන් ආවා.

පරණ අවුරුද්ද සඳහා ස්නානය

අප්‍රේල් මස 12 වන බදාදා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කර ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය කිරීම මැනවි.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වන සිකුරාදා දින අපර භාග 02.59 ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 14 වන සිකුරාදා පූර්ව භාග 08.35 සිට එදින අපර භාග 09.23 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වන සිකුරාදා දින පූර්ව භාග 08.35 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වන සිකුරාදා අපර භාග 03.29 ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දී කිරි මිශ්‍ර කිරිබතක් ද තල සහ විලඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වන සිකුරාදා අපර භාග 05.05 ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම

අප්‍රේල් මස 16 වන ඉරිදා පූර්ව භාග 09.41 ට රතු සහ කහ මිශ්‍ර වර්ණ (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත් ද පයට නුග පත් ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය මැනවි.

රැකීරක්ෂා සඳහා පිටත්ව යාම

අප්‍රේල් මස 17 වන සඳුදා පූර්ව භාග 06.28 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දී කිරි මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම මැනවි.

Facebook
Facebook