“රට වෙනුවෙන් යමක් කරන්න මට ඕන වුණා”

ජීවිතයට මොන තරම් බාධක ආවත් දියුණු වෙන්න අවශ්‍යතාව තියෙනවා නම් සාර්ථකත්වයට යන්න අපිට පුළුවන්. දුෂ්කර ප්‍රදේශයක් වූ ත්‍රිකුණාමලයේ, පදවිය ගම්මානයේ උපත ලබා ජීවිතයේ බාධක ජයගෙන සාර්ථක ගමනක් ආ බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනයේ මානව සම්පත් නිලධාරී මදුශාන් වීරසිංහ ගැනයි මෙවර වියමන් TV ‘පිබිදුණු අපි’ වැඩසටහනෙන් ඔයාලා හමුවට අපි තොරතුරු අරන් එන්නේ.

“සාමාන්‍යයෙන් මනුස්සයෙක් විදියට ජීවිතයේ බාධකවලට මුහුණ දීමේදී සම්ප්‍රදායිකත්වය තුළ මිනිස්සුන්ට තියෙන බාධකවලට වඩා එහා ගිය වෙනස්ම විදියේ බාධකවලට මුහුණ දෙන්න වුණා මට. ඒ වෙද්දි රටක් විදියට බිහිසුණු ත්‍රස්තවාදයට මුහුණ දෙමින් තිබෙන කලාපයක් බවට පදවිය පත්ව තිබුණා. සමහර වෙලාවට අධ්‍යාපන කටයුතු කරන අවධියේදි කැලෑවලට ගිහිල්ලා හැංගිලා දවස ගත කරන්න වෙච්ච අවස්ථාත් මගේ ජීවිතේ එමට තිබුණා.

බිහිසුණු ත්‍රස්තවාදයත් එක්ක ගත කළ අවධියේදී හිතේ ලොකු චකිතයක් තිබුණා රට වෙනුවෙන් යමක් කරන්න ඕන කියලා. මම තීරණයක් ගන්නවා ශ්‍රී ලංකාවේ විශේෂ හමුදා ඒකකයක් වන විශේෂ කාර්ය බලකායට සම්බන්ධ වෙන්න. ඒකෙ පුහුණු කටයුතු සාර්ථකව සම්පූර්ණ කරලා මම කණ්ඩායම් පුහුණුකරුවෙක් විදියට අවුරුදු 6ක වගේ සේවා කාලයක් සම්පූර්ණ කරනවා. අවාසනාවන්ත විදියට ඒ කාලවකවානුවේදී විශේෂ පුහුණු කටයුත්තකදි ආබාධයකට ලක් වෙලා මට සිද්ධ වෙනවා ඒ ක්ෂේත්‍රයට නිමාවක් දෙන්න.

ඉතින් මේ නිමාවෙන් පස්සෙ මම තීරණය කරනවා මගේ ජීවිතයේ ඉතුරු අරමුණු කරා යන්න රැකියාවක් හොයාගන්න. නමුත් ඒ වෙද්දි මම බලාපොරොත්තු වුණ රැකියා වටපිටාවක් මට ලැබිලා තිබුණේ නෑ. මම තෝරා ගැනීමක් සිද්ධ කළා සාමාන්‍ය පෙළ විෂය ධාරාවෙත්, උසස් පෙළ විෂය ධාරාවෙත් උපකාරක පන්ති පටන් ගන්න.

සාර්ථකත්වයට යන ගමනේ ස්ථිරභාවයකට යන්නට අවශ්‍යතාව මත මම තෝරගන්නවා රැකියාවක් හොයාගන්නට. මම 2017 ජනවාරි මාසෙ 12 වෙනි දා බ්‍රැන්ඩික්ස් ආයතනයත් එක්ක සම්බන්ධ වෙනවා සාමාන්‍ය සේවකයෙක් විදියට. ඒ විදියට වැඩ කරගෙන යද්දි මගේ පරිණතභාවයත්, අධ්‍යාපන සුදුසුකම් එක්කත් බ්‍රැන්ඩික්ස් BLI පර්ෂදයේ BLI 4 CPU ආයතනයේ මානව සම්පත් අංශයේ පුරප්පාඩුවක් තිබිලා ඒකට අයදුම් කළා. එහිදී සාර්ථකව සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීලා මම ඒ මානව සම්පත් අංශයේ වැටුප් නිලධාරියා විදියට පත්වීමක් ලබා ගන්නවා. මාස 6ක විතර සේවා කාලයක් සම්පූර්ණ කරද්දි ඒ අංශයේම සේවක සම්බන්ධතා නිලධාරියා විදියට වැඩ කටයුතු ආරම්භ කරන්න මට හැකි වුණා. මේ වෙද්දි මම ඒ ආයතනයේම Plant HR Lead විදියට සේවා කටයුතු කරනවා. බ්‍රැන්ඩික්ස් ආයතනයට ගරු කරන මිනිස්සු පිරිසක් නිර්මාණය කිරීම තමයි මගේ මූලික අරමුණ.”