ටොයෝටා සනීගේ මානුෂික මෙහෙයුම - Air Lift

රජිව් භාතියා කියන නම ඉන්දියානු චිත්‍රපට ක්ෂේත්‍රයේදී ඇහෙන නමක් නෙමෙයි. හැබැයි රජිව් භාතියා තමයි මේ වන විට ලෝකයේ වැඩියෙන්ම අය කරන 7 වැනි තැන ඉන්නේ. කවුද මේ රජිව්?

එයා තමයි ආක්ෂේ කුමාර්.

ආක්ෂේ රඟපාන චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා බිඳලන්නට සමත් වෙන්නේ වෙන හේතුවක් නිසාම නෙමෙයි, ආක්ෂේගේ අති සුපිරි රඟපෑම නිසාමයි. සත්‍ය සිදුවීමක් පාදක කරගෙන 2016 වසරේදී තිරගත වූ “Air Lift” චිත්‍රපටය ගූගල් ශ්‍රේණිගත කිරීම්වලදී 7.9/10 ලබා ගන්නට සමත් වෙලා තියෙනවා.

අපි ඉතාම කෙටියෙන් බලමු මේ Air Lift කතාව මොකක්ද කියලා.

මේ කතාව පටන්ගන්නේ 90 දශකයේ.

මැතිනි මැතිව්ස් කුවේටයේ ඉන්න සාර්ථක ඉන්දියානු ව්‍යාපාරිකයෙක්.

කුවේටයේ ටොයෝටා සමාගමේ කාලයක් වැඩ කරපු නිසා මෙයා ජනප්‍රිය වුණේ ටොයෝටා සනී කියලා.

සැප පහසු නිවාස, මත් සාද, ව්‍යාපාරික අරමුණු මැතිව්ගේ ජීවිතය වුණේ.

කුවේටයේ ඉන්දියානු පාසලේ සභාපති විතරක් නෙමෙයි එක එක සමාජ සංවිධානවල ඉහළ තනතුරු බොහොමයක මැතිව්ස් හිටියා.

දක්ෂ ව්‍යාපාරිකයෙක් නිසාම හැම දෙයක් ගැනම මැතිව්ස් බැලුවේ ඒ කෝණයෙන්, ලාභය සහ පාඩුව විතරයි. මානුෂික හැඟිම් ටිකක් ඈතයි.

ඒ නිසා හුඟක් අය මැතිව්ස් ගැන දන්නේ දරදඬු කෙනෙක් විදිහට.

ව්‍යාපාරිකයෙක් වුණාම ඉතින් නවත්වන්නම බැරි දේ තමයි සමාජ ආශ්‍රය. ඉතින් හැමදාම සාද. ඒක ජීවිතයේ කොටසක් වෙලා. කුවේටයේ දේශපාලන ලොක්කන් පවා මෙයාගේ යාළුවෝ. මැතිව්ස් කුවෙට්වල හිටියේ එයාගේ දරුපවුලත් එක්කමයි. ඉතාම සුඛෝපභෝගී අංග සම්පූර්ණ නිවාසයක් මැතිව්ස් පවුල වෙනුවෙන් වෙන්වී තිබුණා.

හැබැයි එක් රාත්‍රීයකදී ලැබෙන දුරකතන ඇමතුමකින් මේ සියල්ලම වෙනස් වෙනවා.

ඒකෙන් කියවුණේ ඉරාක හමුදාව කුවේටය ආක්‍රමණය කරලා කියලා. මැතිව්ස් මේ ආරංචිය ගැන වැඩිය බය වෙන්නේ නැත්තේ එයාගේ යාළුවෝ බොහොමයක් කුවෙට් රටේ ඉහළ තනතුරුවල සිටිය නිසාමයි. අනික තමන් ඉන්දීය ජාතිකයෙක් නිසා තවත් ඒ බය අඩු වුණා.

කුවේටයේ මේ වෙන කොට ඉන්දියානුවන් බොහෝ දෙනෙක් සේවය කළා.

මැතිව්ස්ගේ ගමෙනුත් සෑහෙන පිරිසක් හිටියේ කුවේටයේ.

නිශ්චලව තිබුණ රටක් එක පාරටම වෙනස් වුණා.

ඉරාක හමුදා කුවෙට් වැසියන් සොයා මරන්න පටන් ගත්තා.

මැතිව්ස්ට මේකේ බරපතළකම දැනෙන්න ගන්නේ තමන්ගේ රියදුරාව ඔහුගේ ඇස් ඉදිරිපිටම ඉරාක සොල්දාදුවන් ඝාතනය කරන හැටි දැක්කාමයි.

තත්ත්වයේ ඇති බරපතළකම එයාට තේරුණා. දැන් තියෙන්නේ පණ බේරගෙන ආපහු ඉන්දියාවට යන එක. මැතිව්ස්ට ලේසියෙන්ම එයාගේ පවුලේ අය එක්ක ඉන්දියාවට එන්න හැකියාව තිබුණා.

නමුත් ඔහු දැඩි තීරණයක් ගත්තා.

170,000 ඉන්දියානුවන් මෙහි ඉන්නවා.

ඔවුන්ගේ සියලුම මුදල් අහිමියි, ඉන්න තැනක් නෑ. ඒ මදිවට ජීවිත තර්ජනය.

හුඟක් අය අවුරුදු ගාණක් කුවේට්වල රැකියා කරපු අය.

එයාලගේ පාස්පෝට් සියල්ලම කුවේට් රජය යටතේ.

දැන් ඔවුන්ගේ රැකියා නැහැ. හාම්පුතුන් මිය ගිහින් හෝ මර බියෙන් සැඟවිලා.

ඔවුන් ඉල්ලුවේ එකම දෙයයි.

“අපිව ආපහු ඉන්දියාවට යවන්න” කියලා විතරයි. නමුත් ඒ කතාව අහන්න කවුරුත් හිටියේ නෑ. ඒ නිසාම මැතිව්ස් තීරණයක් ගන්නවා ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්න.

මේ වෙනකොට ඉරාක හමුදාව එයාලගේ බලය හැම තැනම පතුරුවලා.

කාටත් රටෙන් පිට වෙන්න තහනම්.

හැමතැනම ඇහුණේ වෙඩි හඬවල්.

යුද්ධ ටැංකි විතරයි පාරේ යන්නේ.

ගිනි ගන්නා වාහන, ගෙවල් හැමතැනම.

මැතිව්ස් තානාපති කාර්යාලයෙන් උදව් පැතුවා. ඒක අසාර්ථකයි.

ඊට පස්සේ ඉන්දියානු මධ්‍යම රජය මේ සම්බන්ධයෙන් දැනුවත් කළා.

එයාගේ දේශපාලන සබඳතා මේකට යොදා ගත්තා.

නොයෙක් වාද විවාද තර්ක. අවසානයේ දී සියලුම ඉන්දියානුවන්ව කුවේටයෙන් ඉවත් කරන්න අනුමැතිය ලැබුණා. ඒකත් ලේසි නෑ. ඉරාකය හරහා ජෝර්දාන් දේශ සීමාවට එන්න අවසර දුන්නා. මැතිව්ස් ඒ සියලුම ඉන්දියානුවන්ව බස් රථවල දාගෙන අති දුෂ්කර ගමනකින් කාන්තාරයක් මැදින්, දින ගාණක් එනවා.

අවසානයේ ඉරාක ජෝර්දාන් දේශ සීමාව අසල නෝ මෑන් ලෑන්ඩ් ස්ථානයට බස් රථවලින් මේ පිරිස පැමිණෙනවා.

එතැන රතු කුරුස සේවයෙන් කූඩාරම් හා බ්ලැන්කට් ලබා දුන්නා.

ආහාර ගෙනාවේත් රතු කුරුසයෙන්.

සති 3ක් මේ විදිහට දුක් විඳින්න වුණා. මැතිව්ස් එයාගේ පවුලේ අයත් එක්කම මේ පිරිස එක්ක සිටිනවා.

රෑට සීතල සුළඟ, වැලි කුණාටු. දවල්ට ගිනි ගහන රස්නය.

අවසානයේ මැතිව්ස් එයාගේ දේශපාලන සම්බන්ධකම්වලින් මේ සියලුම දෙනාව ගුවනින් ඉන්දියාවට යැවීමට මඟක් සොයා ගත්තා. දවස් 59 පුරාවට, ගුවන් ගමන් වාර 488කින් ලොව විශාලතම සිවිල් වැසියන් ඉවත්කර ගැනීම වාර්තා වුණා.

ඒක ගිනස් වාර්තාවක් වුණා.

ටොයෝටා සනී මේ 170,000ම ජිවිත බේරා ගත්ත වීරයා වුණා.

2016 ජනවාරි 21 සහ 22 ඉන්දියාවේ සහ ඩුබායි රාජ්‍යයේදී “Air Lift” චිත්‍රපටය ජනගත කරනවා.

මුළු ලෝකයම ඇස් දෙක ලොකු කරන් මැතිව්ස්ගේ වීර ක්‍රියාව දිහා බලනවා.

නිමි.

මොහාන් සුරවීර

Facebook
Facebook