සිරිසඟබෝ රජු දාන පාරමී පිරූ පුදබිම

සම්බුදු තෙමඟුල සමරන මේ පින්බර වෙසක් පොහොය දිනයේ වියමන් TV ‘වියමන් වන්දනා’ වැඩසටහනෙන් අපි ඔබට තොරතුරු අරන් එන්නේ සියනෑ කෝරළයේ අත්තනගල්ල රජමහා විහාරය පිළිබඳවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, එගොඩපොතපේරුවේ රමණීය කඳුවැටියක පිහිටි අත්තනගල්ල රජමහා විහාරය ඓතිහාසික වටිනාකමකින් යුතු පුදබිමක්. සිරිසඟබෝ රජතුමා දාන පාරමිතා පුරන්නට සිය හිස දන් දුන් කතාව ඔයාලා හැමෝම වගේ අහලා ඇති. සිරිසඟබෝ රජතුමා තමන්ගේ හිස දන් දුන්නේ අත්තනගල්ල රජමහා විහාරය පිහිටි ස්ථානයේදී බවයි විශ්වාසය පවතින්නේ. දසරාජ ධර්මයට අනුව සිය පාලනය ගෙන ගිය රජ කෙනෙක් වන සිරිසඟබෝ රජතුමාගෙන් තමන්ට රාජ්‍යය ලබා ගන්නට විශාල කාලයක් ගත වේ යැයි ඔහුගේ සහෝදරයා වන ගෝඨාභයට සිතුණා. ඒ නිසා ගෝඨාභය කළේ සිරිසඟබෝ රජු ඝාතනය කිරීමට සැලසුම් කිරීමයි. සීලයෙන් පිරිපුන් චරිතයක් වූ සිරිසඟබෝ රජුට කරදරයක් කිරීම සිතූ තරම් පහසු නොවූ නිසා ගෝඨාභය රජු යුද්ධ ප්‍රකාශ කළා.

යුද්ධයක් හේතුවෙන් විශාල පිරිසකගේ ජීවිත හානි වීමට හැකි නිසා සිරිසඟබෝ රජු යුද්ධකට යාමට කැමති වුණේ නැහැ. ඉන්පසු ඔහු රජකම අත්හැර ඔහු සිටි මායා රටේ සිට පිහිටි රටට යනවා. පිහිටි රටේ තමයි අත්තනගල්ල රජමහා විහාරය පිහිටා තිබෙන්නෙ. ඔහු වනගතව තපස් රකිමින් සිටින අතරතුරක වනය හරහා ගමන් කළ මඟියෙක් තපස් කරමින් සිටි තවුසා දැක තම බත් මුල පූජා කළා. මඟියා සමග කතාබහ කළ සිරිසඟබෝ රජුට තේරුම් ගියා ගෝඨාභය රජුගේ නියමයට අනුව මේ පුද්ගලයා සිරිසඟබෝ රජුගේ හිස සොයා යන තැනැත්තෙක් බව. ඒ වෙනකොටත් විශාල පිරිසක් සිරිසඟබෝ රජුගේ හිස වෙනුවෙන් ජීවිත පූජා කළ අවසන් බව දැනගත් රජු එම ජීවිත විනාශය නතර කිරීම සඳහා තම හිස දන් දෙන්න තීරණය කළා.

තමාට ලැබුණ බත් මුලෙන් බත් මිටක් ගත් සිරිසඟබෝ රජු සීල පාරමිතාවේ බලයෙන් ප්‍රාර්ථනාවක් කළා. මෙලෙස හිස දන් දීම නිසා තමා මතු බුදු වේ නම් මේ ස්ථානයේ වී රෝපණය වේවා යනුවෙන් තමයි ඔහු ප්‍රාර්ථනාව කළේ. එලෙස සිතා ඔහු බත් මිට ගෙන අසල තිබූ පොකුණට දැමුවා. එවිට එතැන මා වී පැළයක් පැන නැංගා. ඉන්පසු රජු බත් මුලෙහි තිබූ හාල්මැස්සෙක් ගෙන වතුරට දැමුවා. හාල්මැස්සාටත් පණ ඇවිත් හාල්මැස්සා පීනාගෙන ගියා. ආශ්චර්යවත් සිදුවීම් සමග රජු වටහා ගත්තා තම ප්‍රාර්ථනාව ඉටු වන බව. රජු සිය හිස රැගෙන ගොස් ගෝඨාභය රජුට දී රන් කහවණු ලබා ගෙන සතුටින් ජීවත් වන ලෙස මඟියාට පැවසුවා.

සිරිසඟබෝ රජුගේ හිස ලැබුණු පසු ගෝඨාභය රජුට තමා කරගත්තේ විශාල පවක් බව සිතුණා. සිරිසඟබෝ රජු හිස දන් දුන් ස්ථානයට රනින් කළ හිසක් ද රැගෙන අමාත්‍යවරුන් සමග ගෝඨාභය රජතුමා පැමිණියා. එවිට ඔවුන් දැක්කා හිස නැති කඳට හේත්තු වී දේවියත් මරණයට පත්වෙලා සිටිනවා. ඔවුන්ගේ දේහයන් සඳුන් සෑයක ආදාහනය කර ඒ අළුවලින් සහ රන් හිසෙන් වටදා ගෙයක් ගෝඨාභය රජු විසින් කරවූ බව ථූපවංශයේ සඳහන් වෙනවා.

අත්තනගල්ල රජමහා විහාරස්ථානය පිහිටි පුදබිම සංවර්ධනය කරන්නට ද ගෝඨාභය රජු කටයුතු කළා. ප්‍රදේශයේ ඇති ඉපැරණිම බෝධීන් වහන්සේ රෝපණය කර තිබෙන්නේත් අත්තනගල්ල රජමහා විහාර භූමියේයි.

Facebook
Facebook