මිහිතලයට ආදරයෙන්

සොබාදහමට අවනතව ගෙවන ජීවිතය හරිම භාග්‍යවන්තයි. මේ මිහිමත ඉපදුණ සෑම මනුස්සයෙක් වගේම සත්ත්වයෙක්ම මේ සොබාදහමේ දරුවෝ. ඒත් කීයෙන් කී දෙනා ද ඒ සොබාදහම වෙනුවෙන් කළගුණ සලකන්නේ? ඔයාලා දැකලා ඇති පිරිසිදු වතුර ටිකක් බොන්න හොයාගන්න සැතපුම් ගණන් දුර ගෙවාගෙන යන මිනිස්සුන්ව, ගහක්කොළක් නැති කාන්තාර වගේ පරිසරවල දුක් විඳින මිනිස්සුන්ව, වායු දූෂණය නිසා පිරිසිදු හුස්මක් ගන්නවත් වරම් නැති මිනිස්සුන්ව. ගොඩක් වෙලාවට ලෝකේ හැම අතින්ම දියුණු වෙද්දි මිනිස්සු පරිසරය ගැන අමතක කරනවා. ඒකෙන් තමන්ගේ ජීවිතය විතරක් නෙමෙයි අනෙකාගේ ජීවිතයත් අභාග්‍යසම්පන්න තත්ත්වයකට ඇද වැටෙනවා. බ්‍රැන්ඩික්ස් සමූහයේ සාමාජික සාමාජිකාවන් වුණ ඔයාලා ඒ අතින් විශිෂ්ටයි. පරිසරය වෙනුවෙන් කැපවෙන සාඩම්බර පවුලක පුරුකක් ඔයාලා හැමෝම.

බ්‍රැන්ඩික්ස් හරිත තිරසර ව්‍යාපෘතියේ එක් ඉලක්කයක් තමයි 2030 වසර වන විට සියලු බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලා Net-Zero Carbon තත්ත්වයට ගෙන ඒම. විද්‍යාත්මක පදනමකින් යුත් වැඩපිළිවෙළක් ඔස්සේ නිෂ්පාදන කර්මාන්තශාලාවලින් කාබන් විමෝචනය වීම ශූන්‍ය තත්ත්වයට ගෙන ඒම වෙනුවෙන් මේ වන විටත් බ්‍රැන්ඩික්ස් සාර්ථක ලෙස කටයුතු කරලා තියෙනවා. ලීඩ් ප්ලැටිනම් සහතිකය දිනා ගත් ලොව ප්‍රථම ඇඟලුම් කර්මාන්තශාලාව වන්නට බ්‍රැන්ඩික්ස් අපිට හැකි වුණා. ඒ වගේම පරිසරය වෙනුවෙන් කළ මෙහෙය නිසා ලීඩ් සහතික හිමි කරගන්න අපගේ තවත් ආයතනවලටත් හැකි වුණා.

ලක්ෂයකට අධික පැළ ප්‍රමාණයක් මිහිමත රෝපණය කරන්නට සමත් වුණ අපි කර්මාන්තශාලාවලට අවශ්‍ය බලශක්තියෙන් 74%ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රවලින් ලබා ගන්නට කටයුතු කරලා තියෙනවා. ජල පරිභෝජනයෙන් 44.8%ක් ප්‍රතිචක්‍රීකරණය කළ ජලය හෝ වැසි ජලය යොදා ගන්නත්, අපද්‍රව්‍යවලින් 89.6%ක් ප්‍රතිචක්‍රීකරණය කිරීමට හෝ නැවත භාවිතයට ගැනීමටත් අපි පියවර ගෙන තියෙනවා.

2040 වසර වන විට සියලුම කාබන් විමෝචන උදාසීන කිරීමට අත්සන් තැබූ පළමු ශ්‍රී ලාංකික ආයතනය ලෙසත් ඉතිහාසගත වන්නට බ්‍රැන්ඩික්ස් අපිට හැකි වුණා. සොබාදම් මාතාවගේ දරුවන් වූ අප අද ගැන පමණක් නොව අනාගතය ගැන ද සිතා කටයුතු කරන්නට සිතේ තබාගමු.