දඹදෙණියේ පෞරාණික උරුමය - දඹදෙණිය ශ්‍රී විජයසුන්දරාරාම රජමහා විහාරය

මිහිඳු හිමියන් ඇතුළු ධර්මදූත පිරිස බුදු දහම ලංකාද්වීපයට රැගෙන ආවේ අද වැනි පොසොන් පුන් පොහොය දිනයකදීයි. ශ්‍රී ලංකාව තුළ මහණ උපසම්පදාව මුල්වරට සිදු කළේ ද පොසොන් පොහොය දිනයකදීයි. එවන් වූ උතුම් පුන් පොහොය දිනයක ‘වියමන් වන්දනා’ තුළින් අපි ඔයාලව එක්ක යන්නේ දඹදෙණිය ශ්‍රී විජයසුන්දරාරාම රජමහා විහාරස්ථානයටයි.

ශ්‍රී ලංකාවේ තුන් වන රාජධානිය ලෙස සැලකෙන දඹදෙණිය රාජධානිය පුරාවිද්‍යාත්මක, සංස්කෘතික සහ සමාජීය වැදගත්කම් රැසකින් හෙබි රාජධානියක්. මේ රාජධානියේ පිහිටි දඹදෙණිය ශ්‍රී විජයසුන්දරාරාම විහාරස්ථානය තුන් වන විජයබාහු රජු විසින් කරවූ අතර බුද්ධ ශාසනය නගා සිටුවීම වෙනුවෙන් කටයුතු කළ රජ කෙනෙක් ලෙස තුන් වන විජයබාහු රජු හඳුන්වන්න පුළුවන්. මෙම විහාරස්ථානයේ ප්‍රධානම ස්මාරකය වන්නේ දළදා මාළිගාවයි. දළදාව සහ පාත්‍ර ධාතුව ලබා ගැනීම තුළින් රටේ උරුමය පිළිබඳ අයිතිවාසිකම් හිමි කර ගත් තුන් වන විජයබාහු රජු ලක්දිව එක්සේසත් කර දළදා මාළිගාවක් ඉදි කර දළදාව බෙලිගලට වැඩමවා සිය නමින් විජයසුන්දරාරාමය නම් මෙම විහාරස්ථානය ඉදි කරවා තිබෙනවා.

තුන් වන විජයබාහු රජුගෙන් පසු ඔහුගේ පුත් දෙවන පරාක්‍රමබාහු රජු තෙමහල් දළදා මාළිගාවක් ඉදි කර දළදා වහන්සේ ආරක්ෂා කර තිබෙන බව චූල වංශයේ සඳහන් වෙනවා. විශාල පාෂාණ කුට්ටි මත සිටවූ ගල් කණු ආධාරයෙන් මෙම විහාරස්ථානය තනා තිබෙනවා. තව ද මෙහි විහාර ගෙය පොළොව මට්ටමේ සිට අඩි 3ක් උසින් නිර්මාණය කර තිබෙන අතර එහි ඇතුළත හා පිටත සිතුවම්වලින් යුක්තයි. මෙහි වහලය හා ඉහළ මාලය දැවවලින් තනා තිබීම විශේෂත්වයක්.

මෙම විහාරස්ථානයේ පිටත බිත්තියේ අටවිසි බුද්ධ රූප සිතුවම් කර ඇති අතර ලියකම් භාවිතයෙන් පිටත බිත්තිය අලංකාර කර තිබෙනවා. තව ද මෙහි තිබෙන ප්‍රතිමා මැටියෙන් නිමවා ඇති අතර මහනුවර යුගයේදී හෝ ඉන්පසු යුගයකදී මේවා නිම කළ ඇති බවටයි සැලකෙන්නේ.  ඓතිහාසික වටිනාකමකින් යුත් දඹදෙණිය ශ්‍රී විජයසුන්දරාරාම රජමහා විහාරය වයඹ පළාතේ ඓතිහාසික උරුමයක් වන අතර එය රැකගැනීම අප කාගේත් වගකීමක්.

Facebook
Facebook