දරුවනි මගේ

දරුවන් හැදුවේ මතු රජ කරවන්න නොවේ
මිනිසෙක් වෙලා පය ගහලා ඉන්න ලොවේ
ඇති දැඩි කෙරුවේ දහදුක් විඳ මමයි දුවේ
පාරට වැටුණේ මා පෙර කළ තරම පවේ

දරුවන්ගේ දරුවනුත් සෙනෙහෙන් මා හැදුවා
මා සතු දේපළ ද සම සේ උඹලට බෙදුවා
ඇඳි වත පවා මා හට ඇඳගන්නට බැරුවා
මහලු නිසා දරුවන් මා පාරට විසි කෙරුවා

වෛර කරන්නෑ කවදාවත් උඹලාට පුතේ
කවදත් උඹලා යහතින් වැජඹෙන්න පුතේ
ඒවා දකින්නට සවියක් ගතට නැතේ
තව ටික දවසකින් අම්මා මිය යාවි පුතේ

බඩගිනි දැනෙනවා පුතුනේ නිතර මට
ඉඳහිට ලැබෙනවා අහරක් පිනට
මේවා විඳින්නම් මගෙ පව් ගෙවෙන්නට
දවසක පුළුවනිය සසරින් මිදෙන්නට

සුමුදිනී කුමාරි
බ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනය

Facebook
Facebook