කොළොම්පුරේ සිත් නිවන හුණුපිටියේ ගංගාරාමය

සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීම, රාහුල කුමරුගේ උපත, සිදුහත් කුමරු ගිහි ගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කිරීම ආදී විශේෂ සිදුවීම් රැසක් සිදු වූ ඇසළ පුන් පොහෝ දිනයේ වියමන් ටීවී ‘වියමන් වන්දනා’ වැඩසටහන සිදු කරන්නේ කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පිළිබඳවයි.

ගංගාරාම විහාරයේ මූලාරම්භය 19 වන සියවස දක්වා දිව යන්නක්. එම සියවසේ මුල් භාගයේදී නාවික වෙළෙන්දෙක් ලෙස කටයුතු කළ දොන් බැස්ටියන් මුදලිවරයා විසින් විහාරස්ථානය ඉදි කිරීම සඳහා ඉඩම ලබා දී තිබෙනවා. එහි කුඩා ආරාමයක් ඉදි වූ අතර 19 වන සියවස අග භාගයේදී එහි නැවත සංවර්ධන කටයුතු ආරම්භ වූයේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ මඟ පෙන්වීම අනුවයි. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් විසින් සිදු කළ බෞද්ධ පුනරුදයේ එක් පියවරක් ලෙස ගංගාරාම විහාරස්ථානයේදී බෞද්ධ පොත් මුද්‍රණය කිරීම සිදු වුණා. දෙවුන්දර ශ්‍රී ජිනරතන හිමියන්ගේ මූලිකත්වයෙන් එම මුද්‍රණ කටයුතු සිදු වූ අතර එය ජිනරතන මුද්‍රණාලය ලෙසින් හැඳින්වුණා.

ගංගාරාමයේ ස්ථාපිත ගොඩනැගිලි අතර බේරේ වැව ආසන්නයේ ඉදි කර තිබෙන සීමාමාලකය විශේෂිත වෙනවා. දැව කණු මත ඉදි කර තිබූ සීමාමාලකය 1959දී පමණ දිරාගොස් තිබෙනවා. පසුව ආසියාවේ විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ජෙෆ්රි බාවා මහතා විසින් 1979දී දැනට පවතින සීමාමාලකය නිර්මාණය කරනු ලැබුවා. ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලාගේ උපසම්පදා කර්මයන් සහ විනය කර්මයන් සිදු කිරීම සඳහා සීමාමාලකය නිර්මාණය කර තිබෙනවා.

කොළඹ ඝෝෂාකාරී පරිසරයක පිහිටියත් සිත් පහන් කරන හැඟුම් දනවන ගංගාරාම විහාරස්ථානය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට පාත්‍ර වූ විහාරස්ථානයක්.

Facebook
Facebook