ජීවිතයට හිතන්න දෙයක් එක් කළ එක්තරා සමාජ විද්‍යාත්මක පර්යේෂණයක් ගැනයි මේ කතාව. දැන් ඔයා තරුණ වයසට පය තැබුව කෙනෙක්, මැදි වියට පය තැබුව කෙනෙක් වෙන්න පුළුවන්. පුංචි කාලේ ඉඳලා අත්දැකීම් එක්ක ගත්තම ඔයාට මේ වෙනකොට විවිධ විවිධ පුද්ගලයන්ව මුණගැහිලා ඇති. ගෙදරක පරිසරය ගත්තත් එකම පවුලේ අය අතර පවා විවිධත්වයක් තියෙනවානේ.
එක්තරා පර්යේෂකයෝ කණ්ඩායමක් පුද්ගලයන් පිරිසක් යොදාගෙන කළ මේ පර්යේෂණයේදී එයට සහභාගී වුණ පුද්ගලයන්ව කණ්ඩායම් වශයෙන් වෙන් කළා. පොළොව මත ඇඳ තිබුණ කොටු හැඩැති කොටස්වල පුද්ගල කණ්ඩායම් ගිහින් හිටගත්තා. දැන් එක එක විශාල කොටු තුළ පුද්ගලයන් කිහිප දෙනා බැගින් සිටගෙන සිටිනවා. පර්යේෂකයෝ අර පුද්ගලයන්ට කිව්වා අපි දැන් ප්‍රශ්න කීපයක් අහනවා ඒවාට අදාළ අය අවංකවම ඉදිරියට එන්න කියලා.
මේ කොටු ටිකේ ඉන්නේ අපිට ආයතනයකදී හරි වෙනත් කටයුත්තකදි හරි එකට වැඩ කරන්න වෙන විවිධාකාර මිනිස්සුන් වගේ විවිධ ගතිගුණ ඇති මිනිස්සු. පර්යේෂකයෝ ඇහුවා ජීවිතේ තනිකමක් දැනෙන අය කවුද කියලා. එතකොට අර විවිධ කණ්ඩායම්වලින් පුද්ගලයින් කිහිප දෙනෙක් ඉදිරියට ආවා. ඔවුන් දැන් වෙනම කණ්ඩායමක්. ඉන්පසුව පර්යේෂකයන් තවත් ප්‍රශ්න කිහිපයක්ම මේ කණ්ඩායම් වෙත යොමු කළා. ක්ෂණික කෑමවලට කැමති අය කවුද? අනිත් අයගේ ජීවිත ගොඩනගා ගන්න උදව් කරන අය කවුද? ජීවිතේ කටුකම අවධි පසුකරන් ඇවිත් ජීවිතේ දිනුව අය කවුද? අනිත් අය නිසා ගැරහුමට ලක් වුණ අය කවුද? අනිත් පුද්ගලයන්ව අපහසුතාවට පත් කරන අය කවුද? පරක්කුවෙලා වැඩට යන අය කවුද? කම්මැලි අය කවුද? වඩාත්ම ආදරණීය අය කවුද? පිළිකා රෝගවලින් පීඩා විඳින්නන් කවුද? ඒ වගේ රෝගවලින් ජයගත්ත අය කවුද? මේ වගේ විවිධාකාර ප්‍රශ්න අහද්දි හැම කණ්ඩායමකම වගේ ඊට අදාළ පුද්ගලයෝ ඉදිරියට ආවා. සැරෙන් සැරේට කණ්ඩායම්වල සාමාජිකයන් වෙනස් වෙවී අලුත් කණ්ඩායම් හැදුණා.
අවසානයේ ඔවුන් හැමෝම, ඔවුන් හිතනවාටත් වඩා එකිනෙකා හා සමීප එක වගේ අත්දැකීම් තිබෙන අය බව පෙනී ගියා. අපි හැමෝගෙම ජීවිත ඒ වගේ. අපි සමහර වෙලාවට මිනිස්සුන්ව පිටතින් දකින විදිය අනුව විනිශ්චය කරනවා. අපි ඔවුන්ව එක එක විදියට වර්ගීකරණය කරනවා. ඒත් අවසානයේ බලද්දි අපි හැමෝම එක වගේ කතාවක් තියෙන මිනිස්සු.
අපි හැමෝටම තියෙනවා කතාවක්. ඒ නිසා මිනිස්සුන්ව විනිශ්චය කරන්න, එක එක රාමුවලට දාන්න හදිසි වෙන්න එපා. අනිත් පුද්ගලයෝ ඔයාට දක්වන ප්‍රතිචාර අනුව ඔයාගේ හොඳ ගතිගුණ නැති කරගන්න නොයා හැමෝටම හොඳින් සලකන්න. මොකද අපි හැමෝටම තියෙනවා එකිනෙකා නොදන්නා අපේම කතාවක්.