වෙනස එක්ක වෙනස් වෙමු - පළමු කොටස

ඔයා අහලා තියෙනවද ඩාවින්ගේ පරිණාමවාදය ගැන? හරි! මම ඔයාට දැනෙන විදිහට කියන්නම්. ඩාවින් කියන්නේ හරිම සාමාන්‍ය මනුස්සයෙක්. හැබැයි එයාට තිබුණා හරිම තියුණු ඇස් දෙකක්, බුද්ධියක්. දෙයක් දිහා බලන්න, ඒ ගැන විස්තර හොයන්න, ඒ දේ එහෙම වෙන්නේ කොහොමද වගේ හිතේ ඇතිවෙන කුතුහලය ඩාවින් කියන මනුස්සයට ප්‍රසිද්ධ වෙන්න හේතු වුණා.

මේකත් එක්ක තමයි ඩාවින් අලුත් කතාවක් ලෝකෙට කියන්න උත්සහ කළේ. ඩාවින් ඉදිරිපත් කරපු අලුත් කතාවට ඩාවින් “පරිණාමවාදය” කියලා කිව්වා. ඊට පස්සේ හැමෝම පරිණාමවාදය ගැන කියවන්න, කතා කරන්න ගත්තා. සමහරු උසුළු විසුළු කළා. කොටින්ම කිව්වොත් මේ කතාව මාර ජෝක් එකක් වුණා.

ඩාවින් කියන්න ගත්තු මේ පරිණාමවාදයේ එක කොටසක් තියෙනවා “ස්වභාවික වරණය” කියලා. ඒකෙ එක තැනක තියෙනවා “උචිතෝන්නතිය” කියලා කොටසක්. සරලව කියන්නද? උචිතෝන්නතිය කියන්නේ තැනට උචිත විදිහට ජීවත් වීම.

මේ ලිපිය කියවන ඔයා, තැනට උචිත විදිහට ජීවත්වෙන කෙනෙක් ද? ඔන්න ඔය ගැන තමයි මම කියන්න යන්නෙත්. හිතන්න! ඔයා ඉන්නේ අධික සීතල තියෙන තැනක කියලා. සීතල දරාගන්න බැරි තරමට වැඩියි නම්, ඔයා කරන්න ඕන ජැකට් එකක් ඇඳගෙන ඔයාගේ ශරීර උෂ්ණත්වය පාලනය කරගන්න එක. හැබැයි ඔයාට ඒක කරගන්න බැරි වුණොත්? සමහරවිට අසනීප වෙලා ඔයාගේ ජීවිතේට වුණත් හානියක් වෙන්න පුලුවන්.

දැන් බලන්න, පහුගිය කාලේ හැමෝටම මාස්ක් දාන්න වුණා. සමහරු කැමැත්තෙන්ම දැම්මා. තවත් අය අකමැත්තෙන් මාස්ක් දැම්මා. ඒත් ජීවිතේට ආදරයක් තියෙන හැමෝම කැමැත්ත අකමැත්ත ගැන නොහිතා මාස්ක් දැම්මා. කල්පනා කරලා බලන්න, ඒ අතරේ ඔයා මාස්ක් දාන්න අකමැත්තෙන් හිටියා නම් ඔයාට මොකද වෙන්නේ?

මීළඟ කලාපයෙන් තවත් මේ ගැන කතා කරමු.
රංගන වඩුගේ

Facebook
Facebook