සැබෑ ලස්සන ගැන කතාවක්

මේ ලෝකේ හැම මනුස්සයෙක්ටම තමන්ටම ආවේණික වුණ ලස්සනක් තියෙනවා, විශේෂත්වයක් තියෙනවා. ඒත් ගොඩක් වෙලාවට සමහර අය තමන්වම අවතක්සේරු කරගන්නවා. වෙනත් කෙනෙක් එක්ක සසඳමින් ඒ කෙනාට වගේ සමේ වර්ණයක් තිබුණා නම්, ඒ වගේ කොණ්ඩයක් තිබුණා නම්, ඒ වගේ හිනාවක් තිබුණා නම් කියලා තමන්ව අවතක්සේරු කරගන්න අය ඉන්නවා. අපි දකින විදියෙයි ගොඩක් වෙලාවට ගැටලුව තියෙන්නේ. සමහර වෙලාවට ඔයා, ඔයා ගැන හිතන් ඉන්න විදියට වඩා ගොඩක් ධනාත්මක විදියට අනිත් අය ඔයාව දකිනවා වෙන්න පුළුවන්. මේ කතාව ඒ වගේ දෙයක් ගැන.

එක්තරා සමාගමක් සිය වෙළඳ නාමය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ඉතාම සිත්ගන්නා සුළු වීඩියෝවක් නිර්මාණය කළා. මේ වීඩියෝ එකේ සිද්ධ වෙන්නේ පුහුණු චිත්‍ර ශිල්පියෙක් විසින් විවිධ කාන්තාවන්ගේ රුව සිතුවමට නැඟීම. මේක වෙන්නේ මෙහෙමයි. කාන්තාවක් ඇවිත් චිත්‍ර ශිල්පියා අසල වාඩි වෙනවා. චිත්‍ර ශිල්පියා කාන්තාව දකින්නේවත්, ඔහු අඳින චිත්‍රය කාන්තාව දකින්නේවත් නැති ආකාරයටයි ඔවුන්ට අසුන් පනවලා තිබුණේ. එක් එක් කාන්තාවගෙන් චිත්‍ර ශිල්පියා ඔවුන්ගේ පෙනුම ගැන විවිධ ප්‍රශ්න අහනවා. ඇස් මොන වගේ ද, නළල පටු ද, පළල ද, කොණ්ඩය මොන වගේ ද, කම්මුල්වල පෙනුම මොන වගේ ද කියලා විවිධ ප්‍රශ්න අහනවා. මේ ප්‍රශ්නවලට ඒ ඒ කාන්තාව දෙන පිළිතුර අනුව ඔහු කාන්තාව චිත්‍රයට නඟනවා. අදාළ කාන්තාවන් කියන විස්තර අනුව චිත්‍රය ඇඳලා ඉවර වුණාට පස්සේ ඒ කාන්තාවන්ගේම තවත් චිත්‍රයක් චිත්‍ර ශිල්පියා අඳිනවා. ඒක අඳින අවස්ථාවේ ඒ ඒ කාන්තාවගේ හැඩ හුරුකම් ගැන විස්තර කියන්නේ වෙනත් පුද්ගලයෙක් විසින්.

දැන් තමන් විසින්ම තමන්ව විස්තර කළ ආකාරය අනුව ඇඳපු චිත්‍රයක් සහ වෙනත් බාහිර තැනැත්තෙක් විසින් කළ විස්තරය අනුව ඇඳපු චිත්‍රයක් හැම කාන්තාවක් වෙනුවෙන්ම නිර්මාණය වෙලා තියෙනවා. එක් එක් කාන්තාවට අදාළ චිත්‍ර දෙක සංසන්දනය කළාම පුදුම හිතෙන දෙයක් දකින්න ලැබුණා. ඒ තමයි එක් එක් කාන්තාව විසින් විස්තර කළ ආකාරයට ඔවුන්ව ඇඳපු චිත්‍රවලට වඩා ඇයව වෙනත් කෙනෙක් විසින් විස්තර කරද්දි ඇඳපු චිත්‍රය වඩාත් ලස්සන වීම. ඔවුන් ඔවුන්වම ටිකක් අවලස්සනට දැකලා තිබුණා. නමුත් වෙනත් අය ඒ එක් එක් කාන්තාවගේ ලක්ෂණ සුවිශේෂ ඒවා විදියට දැකලා තිබුණා. කොණ්ඩය, ඇස්, සිනහව පවා තමන් දකිනවට වඩා ලස්සන හැඟීමකින් අනිත් අය දැකලා තිබුණා.

මේකෙන් ඔයාට හිතන්න දෙයක් ඉතුරු කරලා තියෙනවා. ඔයා හිතනවාට වඩා ඔයා ලස්සනයි. ඒ නිසා කිසිම මොහොතක ඔයාව අවතක්සේරු කරගන්න එපා. ඔයා සුවිශේෂ කෙනෙක්. ඔයා හිතන විදියයි වෙනස් වෙන්න ඕන. එතකොට ඔයාට ඔයාව වගේම හැම දෙයක්ම ලස්සනට පේන්න ගනීවි. මුළු ලෝකයම ඔයාට ලස්සන තැනක් වේවි.

Facebook
Facebook