එදා හොඳටම වැස්ස දවසක්… අපි දෙන්නා ඉස්කෝලෙ ඇරිල ගෙදර එද්දි ගෙවල් පැත්තට හැරෙන වංගුවේ ලොකු සුදු කොඩියක් එල්ලලා තිබුණා. අපි හොඳටම බය වුණා… අඩිය තියලා ඉදිරියට යන්න බැරි බවක් දැනුණා…
“ජයමිනි, මට ගෙදර යන්න බෑ වගේ මොකක්දෝ බයක් දැනෙනවා…”
“අනේ ඇයි බය වෙන්නේ… මතක නැද්ද පොල් ගෙදර ආච්චි ගොඩක් වයසයි නේ… එයා අසනීපෙන්නේ හිටියේ, සමහරවිට එයා නැති වෙලා වෙන්න ඇති. බයවෙන්න එපා.”
“ම්… එහෙනම් යමුකො…”
අපේ ගෙදර පහුවෙලා ගෙවල් දෙකකට එහායින් තමයි ජයමිනිලගේ ගෙදර තියෙන්නෙ. පොල් ගෙදර තිබුනෙ ඊටත් එහා, සුදු කොඩි වැල් ගොඩක් සහ බැනර් එකක් ජයමිනිලගේ ගෙදර ළඟ තිබුණා. ඒක දැක්ක ගමන් ජයමිනි හයියෙන් කෑ ගැහුවා. එයාලගේ නෑදෑයො කට්ටියත් එහාට මෙහාට යනවා එනවා. ඒත් එක්කම ජයමිනිට කලන්තේ වගේ හැදුණා. මොනවා වෙලාද කියලා හිතාගන්නත් බෑ මටත් හරිම දුකයි. මාමලාගේ අක්කල දෙන්න ඇවිල්ලා ජයමිනි වත්තන් කරගෙන ගියා. මටත් එතනින් එහාට යන්න හයියක් තිබුණෙ නැහැ, ඒක නිසාම මම ගෙදර නතර වුණා.
නොසිතූ වෙලාවක ජයමිනිලගේ අම්මා එයාලා දාලා යන්නම යන්න ගිහින්. කාටවත්ම හිතාගන්න බැහැ මේ මොකක්ද වුණේ කියලා.
එහෙත් ‘ලෝ දහමට නතුයි සියල්ල’ හැම පෝය දවසක දවසකම ලොකු හාමුදුරුවො අපට කියලා දුන්නා. රුපියල් ශත කියන්නේ ජීවත් වෙන්න ඕන කරන මෙවලමක් විතරයි. මිනිස්සු ඉඩම් අඟලට ජීවිතවලින් වන්දි ගෙවනවා. ජීවත්වෙන කල් අපි කරපු හොඳ ගැන මතකය ඉතිරි කරලා පොළොවට දිරා යන කුණු කයත් එක්ක අපි බැඳෙනවා.
ජයමිනිලගේ අම්මා හරි හොඳ කෙනෙක්. කාටත් කරදරයක් නැතුව ජීවත් වෙන්න දැනගෙන හිටිය කෙනෙක්. අම්මා නැතිවුණාදා ඉඳලා ජයමිනි ගොඩක් දුකෙන් තමයි ජීවත් වුණේ. ඒ නිසාම ජයමිනී ගොඩක් දුර්වල උනා. අම්මා නැති අඩුව නොදැනෙන්න අපි ගොඩක් දේවල් කළා. ඒත්… අම්මා නැති අඩුව පුරවන්න අපි කාටවත් කවදාවත්ම බෑ….
ජයමිනිගෙ තාත්තා ජීවත් වුණෙත් අම්මගෙන් ලැබුණු ආදරයත් එක්ක. තරුණ කාලෙදි ගොඩක් දඩබ්බරකම් කරපු කෙනෙක් ජයමිනිගෙ තාත්තා. තාත්තා ගොඩක් වෙනස් වෙලා. අදහස්, සිතුවිලි හැසිරීම්, පවා ගොඩක් වෙනස් වෙලා.
ජයමිනිගෙ අම්මා නැති උනාම තාත්තගේ අතීතය දන්න ගමේ උදවිය කිව්වේ ආපහු මේ මනුස්සයා පරණ තත්ත්වෙටම එයිද දන්නේ නෑ කියලා. මේ අතරෙ හිටපු සමහර දෙනෙක් කිව්වා මැණික් කැට වගේ දරුවෝ ඉන්න නිසා මේ මනුස්සයා නම් වෙනස් වෙන එකක් නැහැ කියලා. ගොඩක් අපහසුතා එක්ක දින ගණන් ගත උනා. හත් දොහේ බණ සහ දානය දෙන දවසත් ළං උනා. ජයමිනිගේ හිත හදන එක නම් ලේසි උනේ නැහැ. යාළුවෝ ටික යෝජනාවක් ගෙනාවා ටික කාලෙකට බදුල්ලේ ඉන්න ලොකු පුංචිලගෙ ගෙදර ජයමිනි නවත්තමු කියලා.
ඒ කතාව අහපු ජයමිනිගෙ තාත්තා මෙහෙම කිව්වා .
“දරුවෝ ඔයාල ඔය කරන්න යන්නෙ හිසේ රුදාවට කොට්ටෙ මාරු කරනව වගේ වැඩක්. මටත් දුකයි. ඒත් මම හැමදේම දරාගෙන ඉන්නෙ එයා මට කියල දීපු දේවල් මතක් කර කර. අපි හොඳින් ඉන්න ඕන එයා වෙනුවෙන් දෙයක් කරන්න. මේ දරුවෝ හොඳින් ඉන්නව දකින්න පුදුම ආසාවෙන් හිටියෙ. ඒක නිසා ඒ යුතුකම මම කරන්නම ඕන. එහෙම කළොත් තමයි අපි එයාට ගෞරව කළා වෙන්නේ.”
ජයමිනිගේ තාත්තා එහෙම කියද්දී මට ඔහු ගැන ඇති වුණේ බොහොම ගෞරවනීය හැගීමක්. ජයමිනිගේ තාත්තා මැදහත් සිතින් හැමදේම විඳ දරාගෙන දරුවන් වෙනුවෙන්, බිරිඳ වෙනුවෙන් කරන කැපකිරිම ගැන. දෙමාපියන් හැමදාම දරුවන් වෙනුවෙන් හැමදේම මහා රුකක් විදිහට දරා ගන්න අපූරුව මම හොඳින්ම දැක්ක නිසාම මම හිතුවා කොහොම හරි ජයමිනිගෙ හිත හදන්න මීට වඩා වෙහෙසක් ගන්න ඕන කියලා.
ආර්. බී.