රංජිත් බොහොම නිහඬ චරිතයකි. ඒ ඔහුගේ පවුලේ ආවේණික ගති ලක්ෂණයකි. රංජිත් මා හට කැමති වූයේ මන්දැයි මම නොදනිමි. ඔහුගේ සමහර ක්‍රියාකලාපයන් අදටත් මා හට අභිරහසක් මෙනි. විවාහයේ පළමු භාගයම වැයකර මම ඔහු තේරුම් ගැනීමට උත්සාහ කළෙමි. පසුව එය නිෂ්ඵල ක්‍රියාවක් බව මට වැටහී ගියේ බොහෝ තැන්වල මට ඔහු තේරුම් ගැනීමට නොහැකි වූ නිසාත්, එවැනි අවස්ථාවල මා නගන ප්‍රශ්න සඳහා ඔහු ලබා දෙන නොරිස්සුම් සහගත උත්තර මගින් විවාහයේ පළමු භාගයේදීම විවාහය දෙදරා ගොස් මා ලැජ්ජාවට පත් වේ යැයි බියක් මා වූ තුළ ජනිත වූ නිසාත්ය. ඒ නිසාවෙන්ම මා බොහෝ තැන් වල මුව වසා ගත්තේ බොහොම අසීරුවෙනි.
විවාහය යනු බොහොම උත්තරීතර බැඳීමක් ලෙස මම කවදත් විශ්වාස කරමි. ඒ විශ්වාසය මතම දිගු විවාහ දිවියක් උරුම කර ගැනීම මා සතු එකම අභිප්‍රාය විය. තනි අතින් අත්පුඩි ගැසීමට නොහැකි බව මගේ ආත්තම්මා ඉස්සර සෑම විටම අක්කාට දොස් නගන අයුරු මට සිහිවේ. අද මට ද වී ඇත්තේ තනි අතින් අත්පුඩි ගැසීමක් බව මට නිතර සිතේ. අපගේ විවාහ දිවිය තවදුරටත් තබා ගෙන යාමට, තනි අතින් අත්පුඩි ගැසීමට මා හට සිදු වී ඇති බව පමණක් මම දනිමි.
කුඩා කල සිටම රංජිත්ගේ දෙමාපියන් ඔහු අසළ නොරැඳීම ඔහුට මෙවැනි ගති ලක්ෂණ උරුම වන්නට සාධකයක් වී ඇති බව මට දැන් වැටහේ. දෙමාපියන් දරුවන් අතර ඇති සහසම්බන්ධතාව යහපත් එකක් නොවූ කල, දරුවෝ බොහොම නිහඬ ගති පැවතුම් ඇති අය බවට පත්වෙති. කුඩා කල සිට ඔවුන්ගේ අදහස් වලට වටිනාකමක් ලබා දීම තුළින් දරුවන්ගේ පෞරුෂ වර්ධනය වගේම, එකිනෙකා තුළ ඇතිවන සාමූහික බැඳීම පවුලක් ශක්තිමත් කරන බව මම අසා ඇත්තෙමි. කුඩා කල සිටම දරුවන් නිසි ලෙස තේරුම් ගැනීම දෙමාපිය අප සතු කාර්යභාරයකි. ඔවුන්ගේ නැවුම් සිතුවිලි වලට සෑම විටම ප්‍රමුඛ ස්ථානයක් පවුල තුළ ලබා දීමම ප්‍රබෝධමත් දරුවකු බිහි කිරීමේ පළමු පියවර ලෙස මට හැඟේ.
මාත් රංජිත් අතර ඇතිවන බහින් බස් වීම් වල අවසාන ප්‍රතිඵලය සෑම විටම තරහව, ක්‍රෝධය, වෛරය පමණි. විවාහක යුවළක් ලෙසට එකට බැඳී සිටීමට ඇති එකම අවස්ථාව මාගේ බිළිඳා නිසාම අපගේ විවාහය රැඳී තිබේ. තවත් රංජිත්වන් දරුවකු ලොවට දායාද කරමින් අනාගතයේ තවත් බිරින්දෑ කෙනෙකු දුකට ඇද දමන්නට මාගේ කිසිදු කැමැත්තක් නැත. මවක් ලෙස මම මාගේ වගකීම නොපිරිහෙළා, මාගේ බිළිඳා වෙනුවෙන් ඉටු කිරීමට වගකීමෙන් බැඳී ඇත්තෙමි.
දරුවන් මල් වගේ බව අප කවුරුත් දන්නා කරුණකි. ඒ මල් සුවඳින් පිරි මල් බවට පත් කිරීම, දෙමාපිය අප සතු රාජකාරියකි. රුව ගුණ පිරි, සංවේදී, එකිනෙකා පිළිබඳ ආදරයෙන්, කරුණාවෙන්, ගෞරවයෙන් කතා කිරීමට හැකි දරුවකු බිහි කිරීමට නම් නිතර දරුවන් පිළිබඳ අපි අවධානයෙන් සිටිය යුතු බව මම මේ අත්දැකීම් තුළින් ඉගෙන ගෙන ඇත්තෙමි. දරුවන් ළඟට ළං වෙන සෑම විටම ඒ කරුණාවෙන්, මෛත්‍රිය ඔවුන්ගේ සිත් තුළට කා වදින ලෙසට අපට ලබා දිය හැකි නම් අනාගතයේ දී ලස්සන පවුල් සංස්ථාවක් අපට දැකගත හැකිවනු නොවනුමාන ය.
මාගේ අත්තම්මා හැමදාම කිව්වේ පවුලක් පන්සලක් විය යුතු කියා ය. ඒ පවුල කියන ඒකකය තුළ පන්සලක් මෙන් සැනසීම උරුම නිසාවෙනි. මා හට පවුල පන්සල උරුම නොවුණද අනාගතයේ මාගේ දරුවාට පවුලක්, පන්සලක් ලෙස උරුම කරදීම මාගේ අභිප්‍රායයි.
සටහන- බුද්ධිකා කාරියවසම්