මොක්සිරි වගාවෙන්, අතීත උරුමයෙන් තේජමාන ඓතිහාසික ගල්ලෙන් සෙනසුන - පිළිකුත්තුව වෙහෙර

පිළිකුත්තුව රජ මහා විහාරය අයත් වන්නේ සියනෑ කෝරළයට. ගම්පහ දිස්ත්‍රික්කයේ වැසියන්ට නම්, මේ නම බොහෝ හුරු පුරුදු බව නොඅනුමානයි. විහාරස්ථානයක් සේම වැදගත් පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස සැලකෙන මේ පුදබිම, ගම්පහ දිස්ත්‍රික්කයේ, මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිළිකුත්තුව ගම්මානයේ. පිළිකුත්තුවට ඒ නම ලැබුණු අයුරු ගැන බොහෝ ජනප්‍රවාද පවතිනවා. පිළිකොටුව, පිළිකුත්තුව වූ බව ඉන් එක් ජනප්‍රවාදයක්.

දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ ආරණ්‍යයක්ව පැවති මේ විහාරය වළගම්බා රජුට අවුරුදු දාහතරකට වැඩි කාලයක් ආරක්ෂාව සැලසූ බවත් කියවෙනවා. මෙරට වැඩිම ලෙන් සංඛ්‍යාවක් පිහිටි විහාරස්ථාන අතරට පිළිකුත්තුව එක් වෙනවා. එහි ඇති ලෙන් සංඛ්‍යාව 102ක්. අනුරාධපුර යුගයේ දී භික්ෂූන් වහන්සේලා මෙම ලෙන් වල භාවනානුයෝගීව වැඩ සිටි බව පැවසෙනවා.

පිළිකුත්තුව විහාරස්ථානයේ වැඩිම පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු ස්ථානය එහි පිහිටා ඇති ලෙන් විහාරයයි. මෙහි, විවිධ වර්ගයේ බුද්ධ ප්‍රතිමා හා දේව ප්‍රතිමා දක්නට ලැබෙනවා. ඉතා රමණීය බිතු සිතුවම් වලිනුත් මේ විහාරය සුපොහොසත්. ඒ වගේම භික්ෂුණීන් වහන්සේලා නිරූපිත, ලංකාවේ ඇති එකම බුදු මැදුර නිසාත් පිළිකුත්තුව ඉතාම විශේෂ වෙනවා.

පළමුවන කොටස
දෙවන කොටස

ලෙන් විහාරය ඉදිරිපස බෝධීන් වහන්සේලා දෙනමක් වැඩ ඉන්නවා. උන්වහන්සේලා කුමර බෝධිය හා කුමර බෝධිය ලෙස හඳුන්වනු ලබනවා. මේ බෝධීන් වහන්සේලා දරු ඵල අපේක්ෂාවෙන් පුද පූජාදියට පැමිණෙන සැදැහැවතුන්ගේ අපමණ ගෞරවයට ලක් වෙනවා.

මීට අමතරව පිළිකුත්තුව විහාරස්ථානයේ දැකගත හැකි, අභය වැව, ධර්ම ශාලාව, වසර හාරසියයකට වඩා පැරණි පුස් වැල වැනි ඉපැරණි දේ නිසාත් පිළිකුත්තුව ඉතා අපූරු ස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

මේ සියළු කරුණු නිසා පිළිකුත්තුව රජ මහා විහාරස්ථානය ඔබ අනිවාර්යයෙන්ම දැකගත යුතු අපූරු පුරා විද්‍යා ස්ථානයක් ලෙසත්, වන්දනාමාන කළ යුතු පූජනීය ස්ථානයක් ලෙසත් ඔබේ සංචාරක ගමනාන්තකයට එකතු කරගත හැකියි.

Facebook
Facebook