සාහිත්‍ය කන්නද???

මෙය පසුගිය වකවානුව තුළ සමාජයේ බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණු එක්තරා සාකච්ඡාවකි. ඇත්තටම සාහිත්‍යය, කලාව අපේ ජීවිතයට වැදගත් වෙන්නේ ඇයි? නැතිනම් සාහිත්‍යය-කලාව අධ්‍යයනය කිරීම් තුළින්, සාහිත්‍ය-කලාව තුළ නියැලීම තුළින් එසේත් නැතිනම් සාහිත්‍යය-කලාව සමග ගැවසීම තුළින් අපේ ජීවිතයට ලැබෙන ප්‍රතිඵලය කුමක් ද?මෙම පැනයට ඉතා නිවැරදි හා විචක්ෂණශීලී පිළිතුරක් “ගුරු තරුව” වේදිකා නාට්‍යය තුළ එන එක්තරා දෙබසක මෙසේ අන්තර්ගත වී ඇත.

පැනය-

මැටි වැඩ ඉගෙන ගත්තොත් අඩුම ගානේ මුට්ටියක් හරි හදාගන්න පුළුවන්. ශාරීරික අභ්‍යාස ඉගෙන ගත්තොත්  කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන්. ඒත් සාහිත්‍ය ඉගෙන ගන්නෙ මොකටද?

පිළිතුර-

අර කෙළින් කරගත්තු කොන්ද උඩ තියෙන මුට්ටියට පුරවන්නේ අසූචි ද, නැත්තන් රත්තරන් ද කියලා තීරණය කරන්නේ සාහිත්‍යයි.

ඔබ මම අපි අපේ ජීවිත කාලය තුළ සමාජය හා ගැටී ජීවත් වෙද්දි අප දකින යම් යම් සිද්ධි සම්බන්ධයෙන් අප බොහෝ විට කියවාගන්නේ අන්ත දෙකක සිටයි. ඒ හරි හෝ වැරදි. නැතිනම් කළු හෝ සුදු යන අන්ත දෙකයි. නමුත් යමෙක් සාහිත්‍ය සහ කලාව සමඟ ඉතා සමීප සම්බන්ධයක් පවත්වාගෙන යයි නම් එම සිද්ධිය සම්බන්ධයෙන්ම ඔහුට සමාජයේ බහුතරයකට නොපෙනෙන පැත්තක් නැතහොත් කළු සුදු යන අන්ත දෙක මැද ඇති අළු පැහැයක් ගැන කියවාගැනීමක් ඇත.

උදාහරණයක් ලෙස “ගණිකාවක්” සම්බන්ධයෙන් ඔබට ඇති අදහස කුමක් ද?ඒ සම්බන්ධයෙන් ඔබට ඇති අදහස බොහෝවිට මා ඉහත සඳහන් කළ කළු හෝ සුදු අන්ත දෙකකින් එකක් නියෝජනය කරයි.

නමුත් “ළඳුනේ” ගීතය ලියූ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් සහ මෑතක දී “පොඩ්ඩියේ” ගීතය රචනා කල ටිම්රාන් කීර්ති නම් කවියා ගණිකාවක් දකින්නේ සමාජයේ බහුතරයකට නොපෙනෙන අළු පැහැයකිනි. සාහිත්‍ය නම් එයයි.

සමාජයේ බහුතරයකට නොපෙනෙන කළු හෝ සුදු නොවන අළුපාට ඒ බහුතරයටම පෙන්වා දීම සාහිත්‍යයේ, කලාවේ කාර්‍යභාරයයි. ඔබ, මම, අපි සෑමදෙනාම සාහිත්‍යය, කලාව සමඟ ඉතා සමීප සම්බන්ධයක් පවත්වාගෙන යා යුත්තේ මේ නිසා ය.

ඉතිං අවසන ද මා මෙසේ ලියා තබන්නම්. සාහිත්‍යය-කලාව සමඟ ජීවත් වෙන මනුෂ්‍යයෙක් හට මානසික සැප පහසුව, සුවය, සතුට යනු නොමිලේම ලැබෙන දායාදයකි.

සිංහල කාව්‍යකරණයේ නොමැකෙන සටහනක් තැබූ ‘අම්මපයි මං කඩුව දුන්නා.’ කාව්‍ය සංග්‍රහයේ නිර්මාණකරු, නව පරපුරේ කිවියර ශෂික සදීප් මහතාට අනුව සාහිත්‍යය කියන්නේ එවැන්නක්.

ඉතිං, සාහිත්‍ය මාසයේ දී බ්‍රැන්ඩික්ස් වියමන වෙනුවෙන් මෙම අගනා අකුරු ඇමුණුම අප වෙත ලබා දුන් එම  මහතාට අපේ හෘදයාංගම ස්තූතිය හිමි වෙනවා.

Facebook
Facebook