සාහිත්‍ය මාසය වෙනුවෙන් වියමන් අපි ගෙන එන රසවින්දනාත්මක වැඩසටහනේ පළමුවැන්නට අපිත් එක්ක සහභාගී වෙන්නේ සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ, කථිකාචාරිනී සුමුදු චතුරාණි ජයවර්ධනයි. ඇය කෘතහස්ත සාහිත්‍යවේදිනියක් විතරක් නෙවෙයි, නිවේදිකාවක්.
“මං ලියන්න කියන්න පටන් ගත්තෙ පොඩි කාලෙම. ඒකට හේතු උනේ ගෙදර තිබුණ තාත්තගෙ පුස්තකාලෙ. මගේ තාත්තා සිංහල විශේෂවේදී උපාධියක් හදාරපු කෙනෙක්. ඒ වගේම මට නිරන්තර කියවීමේ ඇබ්බැහියක් තිබුණා. කියවීම නිසා පරිකල්පනය දියුණු වෙන්න පටන් ගත්තා.” ඇගේ සාහිත්‍ය ගමනේ ආරම්භය සිදුවුනු විදිය ඇය අපිත් එක්ක බෙදා ගත්තෙ ඒ විදියට.
“අපි හැමෝටම අපේ ජීවිත ඇතුළෙ ජීවන විලාසිතාවක් කියලා තියෙනවා. මගේ ජීවිතේ මට එහෙම එකක් තිබුණා. අපි හැමෝගෙම ජීවිතේ එහෙම එකක් තියෙනවා. ගොඩක් අය ඒක අඳුරගන්නෑ. මං ඔයාලට ආරාධනා කරන්නේ, ඔබ මොන වෘත්තිය කළත් ඔබේ ජීවිතය ඉල්ලන, ජීවිතාශාව දල්වන ජීවන විලාසිතාව අඳුර ගන්න කියලා.” සාහිත්‍ය මාසයේ විතරක් නෙවෙයි, ජීවිතය පුරාවටම ජීවිතය විඳගන්නේ කොහොමද කියලයි ඒ ඇරයුමත් එක්කම අපට ඇය කිව්වෙ. ඇගේ ඒ ඇරයුම ගැන ඇය තවදුරටත් අපිත් එක්ක විස්තර කළා.
“අපි ලේඛකයන් සහ හෘදය සංවේදී මිනිසුන් විදියට මේ සාහිත්‍ය මාසයේ අපි මතක තියාගන්නම ඕනි කාරණය තමයි, කරුණු කාරණා කිහිපයක් වෙනුවෙන් අපේ මනස වෙහෙසන්න ඕනි කියලා. ඒ, අපේ ජීවන විලාසාව අඳුරා ගන්නත්, ඒ වෙනුවෙන් යම් කැප කිරීමක් කරන්නත්, ඔබේ වෙහෙස මහන්සිය, ආතතිය දුරු කරගන්න ඔබටම ආවේණික ක්‍රමය හොයාගන්න එකත් වගේ දේවල් වෙනුවෙන්.”
සාහිත්‍යය කියන දේ මිනිස්සුන්ට කොයි තරම් වැදගත් දෙයක්ද කියලත් ඇය අපිට පැහැදිලි කළා. “මනුස්සයෙක්ට තමන්ගෙ ජීවිතයේ විවිධ හැරවුම් ලක්ෂ්‍ය තියෙන්න පුළුවන්. මේකෙදි පොතකට කරන්න පුළුවන් හැරවුම වැඩියි. පොත් නිසා ජිවිත වෙනස් කරපු ගොඩක් දෙනෙක් අපිට හමුවෙලා තියෙනවා.”
“නිර්මාණකරණයේදීත් සාපේක්ෂ වශයෙන් කාන්තාවන් තමන් විඳින දේවල්, විඳවන දේවල් ලියනවා වැඩියි සහ දැනෙනවා වැඩියි.” සාහිතයය තුළ කාන්තාවගේ දායකත්වය හා නිරූපණය ඇය දැකලා තිබුණේ ඒ විදියට.
“ගොඩක් අය කියවනවා. ඒත් කියවන දේවල් කොයි තරම් තමන්ට ආදේශ වෙනවද සහ තමන්ගෙ ජීවිතේට සහකම්පනයක් එකතු කරනවද කියන ප්‍රශ්නෙ තමයි අපි ඉස්සරහ තියෙන්නෙ.” කියවීමේ සැබෑම තේරුමත්, ඒත් ඒ හා සම්බන්ධ වෙන ගැටලුවකුත් ඇය අපි එක්ක කතා කළා.
“ලෝකෙ ඉන්නවා මිනිස්සු වර්ග කිහිපයක්. සමහරු පොත් ගන්නෙ කියවන්න. සමහර අය ඉන්නවා පොත් ගන්නෙ එකතු කරගන්න. එයාලා ළඟ තියෙනවා දුර්ලභ පොත් එකතු. පොත් එකතු කරලා වැඩක් නෑ කියලා හිතුවත් ඒ අය නිසා තමයි තව කෙනෙකුට කියවන්න අවස්ථාව ලැබෙන්නෙ.” පොත් කියවන හා එකතු කරන දෙගොල්ලන්ගෙම වැදගත්කමත් අපත් එක්ක බෙදාගන්න ඇය අමතක කළේ නෑ.
“පුළුවන් නම් අර ඇහැට දැකලා නොදැක්කා වගේ යන දේවල් බලන්න පුරුදු වෙන්න. ඔබ පසු කරන් යන මිනිසුන්ගේ මුහුණු වල ලියැවිච්ච හැඟීම් කියවන්න පුරුදු වෙන්න. ඒ මුහුණු වල තියෙන හැඟීම් අධ්‍යනය කරන්න පුරුදු වෙන්න. පුංචි වතුර පාරක සද්දයට ඇහුම්කන් දෙන්න. කුරුල්ලොන්ගෙ සද්ද වලට ඇහුම්කන් දෙන්න. හොඳ ලේඛකයෙක් බිහිවෙන්නෙ මේ අවට තියෙන දේවල් හොඳින් නිරීක්ෂණය කරන නිසා.” අපේ අංකුර ලේඛක ලේඛිකාවන්ට තමන්ගෙ ලිවීම අරඹන්නත් පවත්වාගෙන යන්නත් අවශ්‍ය වටිනා උපදේශයක් දෙන්නත් ඇය අමතක කළේ නෑ.