රනින් පිදුම් ලබන්නට තේරී පත්වුණු, 'ජීවිතේ' කොටසක් ලියැවුණු පොත්! ස්වර්ණ පුස්තක - 2023

සිංහල සාහිත්‍යයේ විශිෂ්ටතම කෘති සඳහා පිරිනැමෙන ස්වර්ණ පුස්තක සම්මානය මෙවරත් එවන් විශිෂ්ටතම කෘතියක් සඳහා පිරිනැමුණා. එම සම්මාන උළෙල ද අති උත්කර්ෂවත් ලෙස පසුගිය සැප්තැම්බර් මස පැවැත්වුණා.

ස්වර්ණ පුස්තක සම්මානය සඳහා අවසන් වටයට කෘති පහක් නිර්දේශ වුණා. මංජුල වෙඩිවර්ධනගේ මුන්නක්කරේ සංසාරේ, එරික් ඉලයප්ආරච්චිගේ පහනක අඳුර, සුරත් ද මැල්ගේ DUO, පී. බී ජයසේකරගේ උසාවි ගිය නෙරූඩා හා නෝබට් අයගමගේගේ කුර හඬකි වියැකෙන එම පොත් පහයි.

මේ අතරින් නෝබට් අයගමගේ විසින් ලියැවුණු ‘කුර හඬකි වියැකෙන’ කෘතිය 2023 ස්වර්ණ පුස්තක සම්මානය දිනාගනු ලැබුවා. යටත් විජිත සමය පසුබිම් කරගනිමින් ලියැවි මෙම කතාව ඩිංගිරාළ, තැන්නෙ අප්පො, බණ්ඩාර මැණිකේ, කීරාළ ඇත්තො, ගජසිංහ අප්පෝ, බණ්ඩියා, දෝතම්මා ආදි චරිත වටා ගෙතෙමින් දිව යන මෙම කතාවෙන්, එකල සිටි ප්‍රභූන්ගේ මෙන්ම ඔවුන්ට යටත්ව දිවි ගෙවූවන්ගේ ද ජීවිතයේ තත්පර සිතුවම් කරයි. දුම්බානාගල කන්ද පාමුල සිට හම්බන්තොට තෙක් ඇදෙමින් යන ඒ මිනිසුන්ගේ ජීවිත සැරිය කුර හඬකි වියැකෙන කෘතියේ සුන්දර ලෙස අකුරු කොට තිබේ.

මංජුල වෙඩිවර්ධනගේ මුන්නක්කරේ සංසාරේ කෘතිය, මීගමුවේ දිස්ත්‍රික්කයේ මුන්නකරය නමැති ගම්මානය පසුබිම් කොටගෙන ලියැවුණක්. එසේ සරලව එහි පසුබ්ම කියන්නට හැකි වුවත්, මුන්නක්කරේ සංසාරේ ලාංකීය සමාජයේ එක් පැතිකඩක් සිතුවම් කරන සංකීර්ණ කතාවකි. ඒ පැතිකඩෙහි සංකීර්ණ කතාව කියවන අතරේම මුන්නකරය නම් සංස්කෘතිය කියවාගැනීමටත් පාඨකයාට අවස්ථාව සලසනු ලබන පොතකි.

කවියෙකු වැනි සෞන්දර්යාත්මක මිනිසෙකු තුළ පවා බිහිසුණුම සත්ත්වයෙකුගේ ආත්මයක අංශු මාත්‍රයක් සැඟව තිබිය නොහැකි ද? අහිංසක, සියුමැලි ගැහැනු හිත් අතර, සම්මතයෙන් ඔබ්බට ගිය අසාමාන්‍ය සිතිවිලි දරන ගැහැනු නොසිටිය හැකි ද? ඒ සියල්ල අතරේ අයහපතට එරෙහිව සටන් වදිමින් ‘යහපත’, සමාජ ප්‍රවාහයට මුසු කරන්නවුන් නැද්ද? පී. බී. ජයසේකරගේ උසාවි ගිය නෙරූඩා ඒ සියළු තේමාවන් වල ප්‍රශ්න හා පිළිතුරු කැටි වූ කතාවකි.

කාල පරිච්ඡේද දෙකක, රටවල් දෙකක විසූ, උමා සහ සාරා නමැති තරුණියන් දෙදෙනෙකු වටා දිවෙන, සුරත් ද මැල්ගේ DUO කෘතිය, මානව බැඳීම් ගැන සියුම්ව නිරීක්ෂණය කොට, ඉසියුම්ව විවරණය කරමින්, සරල බසින් ලියැවුණු ළය ගැඹුරටම කා වදින වදන් වැකි ලියැවි කෘතියකි. අනපේක්ෂිතව අවසානයකින් පාඨකයාව විස්මයට පත් කරන මේ කෘතිය ජීවිතයේ සැබෑව ඒ අයුරින්ම ගෙත්තම් කර ඇති’යුරු දිස්වේ.

උස්ව නැගුණු අරුත්සුන් දේශපාලන ආටෝප බිමට ඇද හෙළන කෘතියකි එරික් ඉලයප්පාරච්චිගේ පහනක අඳුර. රාජ්‍ය සේවයත්, බටහිර සංස්කෘතියත් අතරමැද ජීවිතය ගෙන යන අසුන්දර සමාජයක වෙසෙන ජන ජීවිත ගැන මේ කෘතියෙන් ගෙත්තම් කෙරේ.

මේ කෘති පහම, ඒවාට ආවේණික අයුරින් සැබෑ මිනිස් ජීවිතය ද, මිනිස් සමාජයේ විවිධ පැතිකඩවල් ද, විවිධ කෝණයන්ගෙන් නිරූපණය කරමින් ලියැවී තිබේ. ඒවා පාඨක හදවත් වලට තට්ටු කරමින්, පාඨකයාට දෙන පණිවිඩය ද නොසලකා හැරිය හැකි නොවේ. ජීවිතය ලියැවුණු, රනින් පිදුම් ලැබූ කෘති ලෙස මේ සියළු කෘති හැඳින්වීම නිවැරදි වන්නේ ඒ නිසා ය.

ස්වර්ණ පුස්තක සම්මානය ලැබූ හා එම සම්මානයට නිර්දේශ වූ එම සියළු ලේඛකයන්ට අපගේ සුබාශිංසනත්, මෙවන් අපූරු ලියමන් ගෙත්තම් කිරීම වෙනුවෙන් අපේ ගෞරවයත් නොමඳව හිමිවේ.

Facebook
Facebook