ගං තීරයෙන් ආපු හුළඟ ගෑනු ළමයි දෙන්නගෙම කොණ්ඩෙ ඇවිස්සුවා.
මිතුරියන් දෙන්නා හමු වුණේ බොහෝ කාලෙකට පස්සෙ. ඒත් ඒ මිතුදම මඳක්වත් වෙනස් වෙලා තිබුණේ නෑ. ඔවුන්ට කතා කරන්නට ඇති දේවල් වලිනුත් අඩුවක් තිබුණෙත් නෑ.
‘එයා සනීපෙන් ඉන්නව ද?’ මිතුරිය ඇසුවා.
‘ඔව්.’ ඇය මඳ සිනාවකින් යුතුව පිළිතුරු දුන්නා. ඒ සිනාව බොහෝ ඈත කාලයකට පෙර ඇගේ මුවේ වූ මළානික සිනාවට වඩා කොයි තරම් වෙනස්ද කියලා හිතන ගමන්ම මේසය මෙහා පැත්තෙ හිටිය මිතුරිය, ඇයගේ උණුසුම් අත තමන්ගෙ දෑතට මැදි කරලා අල්ලගෙන දෑස් පුංචි කරමින් මිතුරියට හිනාවක් පෑවා.
‘එයාව කොහොමද දැනෙන්නෙ?’ මිතුරිය ඇගේ අත තද කරමින් ඇසුවා.
‘අනේ මන්දා, සංගීතයක් වගේ.’ ඇය කිව්වෙ ගඟ දිහා බලාගෙන.
‘සංගීතයක්?’ මිතුරියගේ මුහුණේ මතු වුණේ කුතුහලයක්.
‘ඔව්, මැජික් එකක් වගේ.’ ඇගේ ඇස් එතකොටත් තිබුණෙ ගඟ දිහාට හැරිලා.
‘ඒ කිව්වෙ?’
‘ඒ කිව්වෙ ද?’ ඇය එහෙම අහන ගමන් මිතුරිය දිහා බලලා ඇගේ අතින් තද කරලා අල්ල ගත්තා.
‘ඒ කිව්වෙ, ඔයා ලස්සන සංගීතයක් අහද්දි දැනෙන්නෙ මොන වගේ ද, අන්න ඒ වගේ එකක් තමයි එයාගෙන් දැනෙන්නෙ, වෙලාවකට හරිම හෙමීට ගලාගෙන යන සංගීතයක් වගේ. හරිම මිහිරියි, මෘදුයි, තවත් වෙලාවකට හරිම උද්‍යෝගිමත් ගතියක්. ඒ කොහොම උනත් එක දෙයක් වෙනස් වෙන්නෑ, ඒ තමයි ඒ සංගීතෙන් හිතට ලැබෙන සැනසීම, ඒක උපරිමයි’
මිතුරියගේ හදවත සතුටු හැඟීමකින් පිරිලා ගියා.
‘ඔයා හොය හොයා හිටියා වගේම.’ මිතුරිය ඇයගේ සැනසිලිදායක සිනාව පිරුණු මූණ දිහා බලන ගමන් කිව්වා.
‘ඔව්, ජීවිතේ කියන්නෙ, වචන පේළි ටිකක්, ඒ වචන පේළියට ගැළපෙන සංගීතයක් තමයි අපි හොයන්නෙ. තියෙන වචන වෙනස් කරලා හරි යන්නෑ, ගැළපෙන තනුවකුයි හොයාගන්න ඕනි, එහෙම නැතුව ගැළපෙන්නැති සංගීතෙකට ඒ වචන ටික මික්ස් කරලත් හරි යන්නෑ, හොඳටම ගැළපෙන්න ඕනි ඒ වචන පේළි ටිකයි, සංගීතෙයි. සමහර විට වචනයක් දෙකක් වෙනස් කරන්න වෙයි, ඒත් ලස්සන වෙනස් නොවෙන විදියට, සංගීතෙ අනුව ඒක තීරණේ වෙයි.’
සාහිත්‍යය ගැන මෙලෝ හසරක් දැනන් හිටියෙ නැති මේ කෙල්ල කියවන හැටි මිතුරිය බලන් හිටියෙ පුදුමෙන්.
‘උදාහරණයක් ඕනි ද?’ එයාම ඇහුවා.
‘ම්ම්ම්’ මිතුරිය ඔළුව වැනුවා.
ඇය සෙලියුලරය මේසය මත තියලා ඒකෙන් ගීතයක් වාදනය වෙන්න සැලැස්සුවා. ඒ ලස්සන සංගීතෙන් වටපිටාවම පිරිලා ඉතිරිලා යද්දි මිතුරිය සෙලියුලර තිරය දිහාට එබුණා.
ගිටාරයක් වාදනය කරනවා වගේ පෙනුණු පිරිමි ළමයෙක්ගෙයි, ඔහු දිහා බලන් ඉන්නවා වගේ පෙනෙන ගැහැනු ළමයෙකුගෙයි පින්තූරක් සහිත වෝල්පේපරය මත්තෙන්, පසෙකට ඇදිලා ගිහින් අතුරුදහන් වෙලා ආයෙත් අනෙක් පසින් මතුවන වචන පේළියක් ඇයට පෙනුණා.
Piyu bole
Sonu nigam & Shreya Goshal
ඇයත් ඒ ගීතය ඇස් පියාගෙන රසවිඳින්න පටන් ගත්තා.