දිය හොද්ද

හිරු එබෙන්නත් කලින් අලුයම ඇහෙන කිචි බිචි කුරුළු නාද
පරාදයි අපෙ තාත්තාගේ බනින කුණුහරුපයේ නාද
මග හැරෙන්නේ නොමැති දේ නම් බිඳෙන වළඳක ” ස්ලාං” නාද
මටත් පුරුදුයි කුස්සියෙන් එන අම්මගේ ඉකිබිඳුම් නාද

“දිය රහයි මේ හොද්ද එක්කලා
බත් කන්නේ කොහොමදෑ කියපං “
කොයි කලක් මං ඉවසුවා දැයි උඹම අදවත් හිතලා බලපං
නැහිලා නැඟිලා ගන්න පඩියෙන් කන්න අඩුවක් වුනිද කියපං
අත්ගුණේ බිංදුවක් වත් නැති “තෝ වගේ ගෑණියක් බලපං”

ගහලා බැනලා බැරිම තැනදිත් තාත්තා හරි තදින් රැව්වා
හිතලා හිතලා අපේ අම්මා රෝහලක දින ගනන් ගෙව්වා
මොකදෝ පෙර කරපු පවකට ආයෙ නොයෙනා ගමන දිව්වා
අම්මා එක්කලා තරහා නැති වග තාත්තා වල ළඟදි කිව්වා

බඩගින්නෙ කොයි තරම් හිටියද අම්මා උයපුවා දන්නෙ නැද්ද
හැමදාම කුණුහරුප කියනා කටේ අද නෑ කිසිම සද්ද
” තාත්තට මං බත් බෙදන්නද..?” අහනකොට අම්මගේ රෙද්ද
තුරුළු කර ඉල්ලුවේ අද නම් අම්මා උයනා එ දිය හොද්ද

උමේෂා පතිරණ
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook
Facebook