තණපිඩක් මත සුසුම් සලනා,
පිනි බිඳක් වැනි ජීවිතේ…
නැගෙනතුරු හිරු සිනා සැලුවත්,
නොදැන මියැදෙයි දහවලේ…
කුමට තරහක් අනුන් පිළිබඳ,
පුංචි දවසයි ජීවිතේ…
ඉන්න ඩිංගට හිනා වෙමු අපි,
බෙදා සැමටම ආදරේ…
අපිව නැතිවම බැරි කෙනෙක්ගෙන්,
දිනක අප අමතක වෙතේ…
හැඳින ඒ බව හිඳිමු සතුටින්,
සත්‍ය එය මනු ලෝකයේ…
හුස්ම ගිය පසු හුස්ම ඇති අය,
මුලින් නුඹ අමතක කළේ…
නමත් නොකියා මිනිය ලෙසටයි,
නුඹව කවුරුත් ඇමතුවේ…
තියෙනතුරු පණ කළත් ජඩකම්,
උපාසකකම බැණරයේ…
කර මතින් යන විටදි කළ හොඳ,
නොහොඳ පමණයි ගෙන ගියේ…
මැරුණු දවසට ගියත් සොහොනට,
හඬන පිරිවර කර මතේ…
කඳුළු වගුරන ඇයයි පළමුව,
මැරුණු අය අමතක කළේ…
දවස් හත පිරි දානෙ දෙනතුරු,
ගෙදර ශෝකය රජ වුණේ…
අහන අය නුඹෙ හොඳක් මිස කිසි
දොසක් නම් නෑ පැවසුවේ…
තුන්මසේ දන පැමිණෙනා තුරු,
සෑම මසකම ඉරු දිනේ…
පහන් දෙක තුන දැල්වුණා නුඹ,
නිදන සොහොනේ මායිමේ…
ඉතිං ඉන්පසු වසරෙ දානය,
නුඹේ නමටය කැප වුණේ…
හිතවතුන්ගේ මුවේ සිනහව,
කොහෙද ශෝකය සැඟවුණේ…
දානෙ දුන්නට නුඹව සිහිකර,
උයන ගෙයි ගජරාමරේ…
සිනා විතරයි වචනෙකින්වත්,
නුඹව නම් නෑ සිහි කළේ…
අනුන් වෙනුවෙන් කැප වුණත් අපි,
නොමැති දවසක ලෝකයේ…
අපිව අමතක වනවා ඒ බව,
හැඳින සැනසෙමු ජීවිතේ…
හිතට ගමු අපි තරුණ වයසෙම,
තිබෙන යහපත ධර්මයේ…
සනසගමු හිත තරුණ වයසෙම,
රුදුරු බව දැන මරණයේ…
දහස් ගණනින් ඇතත් පිරිවර,
හුස්ම සම වුණු ජීවිතේ…
මැරුණ දවසට සොහොන ළඟ නුඹෙ,
කවුද තනියට නැවතුණේ…
ලක්ෂ්මි කුමාරි
බ්‍රැන්ඩික්ස් මිනුවගොඩ ආයතනය