පහන් එළියෙන් පිරුණු කුටියේ
බිමට පැදුරක් එලාලා
හීන් සීරුවෙ ඇල වුනා මං
හනේ හම්මේ කියාලා
කුඹුර එක්කලා ඔට්ටු වුනු මගෙ
කොන්දෙ පැත්තක් දවාලා
වාත කිපිලද එහෙම නැති නම්
සාංකා හිත පිරීලා
දවසකට එක වරක් ඇවිලෙන
ලිපේ ගින්දර කියාවී
මගේ කුසගිනි වේල් තුනටම
එකම බතකින් නසාවී
වෙනදා සුවඳින් උතුරනා මේ
ගෙදර දුහුවිලි පිරේවී
එකම සරමයි ඇන්දේ සතියක්
කොහේ යන්නද සිනාවී
මල් පැලේ බුදු පහන නිවිලා
මතක නෑ කවදද කියා
කුරුලු කිචි බිචි ඇහෙන්නෑ දැන්
ලෑල්ලත් දිරලා ගියා
කඩුල්ලේ මුල පිච්ච වැල් ටික
මැරෙයිදෝ බිය වූ නියා
ඉඩෝරෙදි මං වතුර දැම්මේ
නුඹට ලියු කවි කිය කියා
ගලක් වාගේ දරුණු දරදඬු
පිරිමි හිත් තනි රැකීම
ඊට වැඩියෙන් දරුණුතම දේ
හිමි වෙලා හිමි නොවීම
දරාගන්නට අමාරුම මට
නුඹ නැතිව රැය ගෙවීම
මියැදෙනා තුරු තනිව ජීවිතෙ
ගෙවා නිමකර දැමීම
පරවෙච්ච මල් මාල විසි කර
නුඹේ ලස්සන විඳිද්දී
ඇස් පියාගෙන අතේ හුරුවෙන්
පිච්ච මාලා ගොතද්දී
කඳුළු නවතා ගන්න බෑ මට
රාමුවක නුඹ දකිද්දී
සුරලොවට නෑසුනිද මැණිකේ
මේ තරම් මා හඬද්දී
උමේෂා පතිරණ
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය