මට අහිමි වසන්තය

අහසක් සේ උසට සිතුවිලි පිරුණාට
සයුරක් සේ ගැඹුරු මතකය තිබුණාට
වෙන කාටත් වඩා සෙනෙහස පිදුවාට
නුඹ් හිමි වුණේ මට නොව මගෙ මතකයට

වනපොත් කරන පාඩම වියැකෙනා විට
පොත් පිටු අතර නුඹ කෝලම් පා යසට
මං හිනැහුණා එය සිහිවෙයි තවම මට
කෙලෙසක සිතන්නද නුඹ අහිමි යැයි මට

මතකද පන්තියේ කඩ පේළියෙ උන්නා
ගුරුනට හොරාවට මඳහසරැළි පෙන්නා
කෝමල වෙන විටදි මං නෙතු බිම රන්දා
නුඹෙ නෙත් මගේ මුව මත රැඳිලා උන්නා

සරදම් කරන විට යහළුවො නුඹට මට
ඉවසා සිනාසුණ හැටි මතකද නුඹට
හැම වාරෙකම පළවෙනියා වුණ නුඹට
මා අමතක වුණේ මගෙ පෙර කරුමෙකට

සනසා ගුරු දෙගුරු සිත් සනසා මහද
රැඟුවා නුඹ එදා රැඟුවා මතකයිද
මනමෙට සිංහබාහුට පණ පොවන සඳ
නුඹටත් වඩා ආඩම්බර උනෙ මහද

කටු මැටි පැලක නුඹ ගෙව්වා ජීවිතය
මව් පිය අසරණයි හොයමද පාළුවිය
දවසින් දවස ගෙවුණේ අගහිඟ මැදය
දස්කම් පමණක්ම දෝතේ ඉතිරි විය

පුරවාගෙන සෙනෙහෙ හදවත පුරවාන
රඳවාගෙන නුඹව මතකයෙ රඳවාන
පළඳාගෙන හිටිය මාලය ගලවාන
සඟවාගෙන ගියේ උගසට තබන්නට

හදපු වඩපු මගෙ මව්පිය දෙදෙනාට
සමකර නුඹගෙ ආලය සැසඳූ මෙමට
කඳුළුත් සිනාසුණ බව දැන් හැඟෙන විට
දැනෙනවා උගස් වුණෙ මගෙ ජීවිතය බව

කාලය ගෙවී නුඹ ඈතට ගියා මගෙන්
සුවඳට නුඹේ ඉව කෙරුවේ මහද හොරෙන්
කවදා කොතැන හමුවේවිද කියා සිතින්
මග බැලුවා නුඹ රටගිය දවසෙ ඉඳන්

ගමරට අතැර ගිය දැන් නුඹ ලොක්කෙක්ය
ගෙදරට මහළු මම තාමත් තනිකඩය
ඇවිදින් ගමට එක දවසක් ගිය මුරය
නුඹ මා ළඟින් ගියෙ නොදැකපු ගාණටය

සුදු නෝනා කෙනෙක් නුඹගේ දකුණු පස
සිටියා දැනුණි ඇය මාගේ සම වයස
නුඹගේ අතින් ඇය නුඹ ඇල්ලූ විගස
දැනුණා මගේ හදවත ගිනි තැබූ ලෙස

බාලෙ පෙම් කරපු නුඹෙ සුදු සිනාවට
දහසක් වර වුවත් දිවි දිය හැකිය මට
එනමුදු නුඹෙ හිනා ඇයගෙයි සිතෙන විට
අනේ මගේ සිත අහිමිව ගියා මට

කවදාවත්ම නුඹ අමතක කරන්නට
නුඹගේ හදවතට වෛරය කරන්නට
බැරි බව දන්නවා නම් මව්පියන් මට
මනමාලයො සොයන්නෙ නෑ හතර වට

ආලය හා වෛරය අතර පරතරය
උපමා කළේ කෙස් ගසකට සම බවය
කවුරුන් කොහොම ගෙන පෑවත් අඬහැරය
පුදුමයි නුඹේ ගැන තරහක් ගනු බැරිය

එකමෙක වතාවක්වත් ජීවිතය මට
හරවා රැගෙන ගිය හැකි නම් අතීතෙට
ගන්නට නුඹගෙ අත සුදු නෝනලා හට
යන්නට දෙන්නෙ නම් නෑ මම නුඹට  රට

හප්පාගනු නොහැක දැන් කළු ගලක හිස
සුදු නෝනලා හට මසුරන් රැසක් ඇත
පැමිණෙන්නැති වසන්තයකට හඬනු මිස
දැන් මං ඉතිං වෙන මොනවා කරන්නද

රූපයෙ තිබෙන ලස්සන දියවෙනා විට
ගී ගැයු මගේ මිහිරි හඬ නැති වෙනා විට
කෙස් ගස් එකින් එක සුදුවට හැරෙන කොට
මගෙ මව්පිය දෙදෙන පමණයි ඉතිරි මට

K.P. අනූෂා තුෂාරි
බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය

Facebook
Facebook