පෙර සසරේ පුරුදු ලෙසට ඇවිත් කුසට මගේ
මව් පදවිය දුන්නා මට පුංචි පුතා මගේ
හීනෙන් නුඹ ආවෙ නැතත් ඇත් පැටියෙක් වගේ
මගෙ ලෝකෙම එළිය කළා මිණි පහනක් වගේ
නුඹෙ කිරිකැටි මුහුණ දැකපු ඒ ලස්සන දිනේ
වින්දා මහ දුක් කන්දක් නුඹ දන්නෑ පණේ
සෙනෙහස මහ මෙරක් තරම් පිරෙද්දි හිත් කොණේ
රතු ලේ සුදු කිරට හැරුණෙ නුඹ හින්දයි අනේ
ටික ටික නුඹ වැඩෙද්දි මගෙ හිතට බයයි පුතේ
රුදුරු වෙලා මේ ලෝකය රකුසන් හැම අතේ
දළඳා සමිඳුගෙ පිහිටෙන් සවිය අරන් හිතේ
ඇස් දෙක මෙන් නුඹෙ නංගිත් රැකපන් මගෙ පුතේ
රජෙක් වුණේ නැතත් දිනෙක කම් නෑ මගෙ පුතේ
යහගුණ දම් දන්නා හොඳ පුතෙක් වුණොත් ඇතේ
සිත ගත සවි නැති වෙයි මගෙ යම් දිනකදි පුතේ
ඇතෙක් වගේ මගෙ ළඟ නුඹ ඉඳපන් රන් පුතේ
සන්ධ්‍යා සේනාධීර
බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනය