පොඩි සාදු

සුවඳ දීගෙන පිපුන මොහොතෙම නටු අගින් මල් නෙළුනා
දොහොත් වැඳලා ගාථා කියලම ආසනෙන් බිම හැළුනා
සුදු වතින් මුළු වතම වහගෙන මළුවෙ වටපිට බලනා
කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු ටිකක් හරි තිබුනා

කුසින් අඩකට වැඩිය පිරුනේ පංසලේ පිං බත් තමයි
දානෙ හෝරා කිට්ටු වෙද්දිම ලොකු සාදු පණිවිඩ එවයි
අගුළු ලන්නට දොරක්වත් නැති ගෙදර මට ඇති වස්තුවයි
අම්මවත් නිවනට නොයා හරි ළඟින් හිටියා නම් හොඳයි

පන්සලේ හේවිසිය ඇහුනම කකුල් දිව්වා මට කලින්
දානෙ පුසුඹට කලින් දැනුනේ මල් පහන් සුවඳයි බැතින්
වැඩිහිටියො දායක සබාවේ බෝධි මූලය වට කරන්
ඇයිද මන්දා මගේ පැත්තට රැව්වෙ අත පය දික් කරන්

ලබන පෝයට කඨින පිංකම භාරගත් ලොකු උන්නැහේ
“මේකගේ කරුමයට වෙන්නැති පවුලටම මේ වින්නැහේ”
කියා කිව්වට මොනා වෙන්නද ලෝ දහම පොදු වෙන්නැහේ
බුදුන්ටත් ගල් පෙරළුනා නොවැ මාත් ඉන්නවා ඔන්නොහේ…

හෙටින් පස්සේ අනාථයෙකුට බුද්ධ චීවරෙ අන්දලා
වැන්දෙ නැතුවට කමන්නෑ ඔය ගරු උපාසක උන්දැලා
සසර මග දිගු කරන බාධක උපන් හැටියෙම හින්දලා
සාසනේ තව බබලවන්නම් බුදුන් වැඩි මග වන්දලා

උමේෂා පතිරණ
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook
Facebook