චන්ද්‍රා පෑයූ නාඩගමේ අලුතින් පෑයූ ගීතිකාව - ප්‍රවීනා

ප්‍රවීනා කියන්නේ ටෙලි නාට්‍ය රංගන ක්ෂේත්‍රයට පෑයූ අලුත්ම තරුව. හැබැයි බොහෝ දෙනා ඇයව දන්නේ ප්‍රවීනා විදිහට නෙමෙයි, නාඩම්කාරයෝ නාට්‍යයේ සුදු චූටිගෙ කටකාර යාළුවා වුණ ‘ගීතිකා’ විදිහට. තමන් රඟපෑ පළමු නාට්‍යයෙන්ම අතිශයින්ම ජනප්‍රිය හා විශාල රසික ආදරයක් ලැබීම එක්තරා විදිහක වාසනාවක්… ඉතිං අපි ප්‍රවීනා එක්ක කතාව පටන් ගත්තා.

  • මුලින්ම අපිට ප්‍රවීනාගේ පවුලේ විස්තර ටිකක් කියන්න.

මමයි අම්මයි අප්පච්චියි තමයි ඉන්නේ. අප්පච්චි බිස්නස් කරනවා. අම්මා රජයේ නිලධාරිනියක් විදිහට සේවය කරනවා.

  • ඔබ ඔබව හඳු්වන්නේ කොයි විදිහටද?

මම හරිම සැහැල්ලුවෙන් සතුටින් ඉන්න කෙනෙක්. මම හිතන්නේ අපි හැමෝගෙම ජීවිතයට වඩාත් වැදගත්ම දේ තමයි සැහැල්ලුව සහ සතුට කියන්නේ.

  • කොහොමද මේ රූපවාහිනි නාට්‍ය සඳහා අවස්ථාව ලැබෙන්නේ?

මම මුලින්ම අඩිය තියන්නේ නාට්‍ය ක්ෂේත්‍රයට. මගේ පළමු නාට්‍ය අත්දැකීම වගේම මාව ජනතාව හඳුනා ගන්නෙ නාඩගම්කාරයෝ කතාවේ ගීතිකා විදිහට. මට ඒකට ආරාධනා කරන්නෙත් සංගීත් ප්‍රභූ අයියාම තමයි. එයා කිව්වා අලුත් නාට්‍යයක තෝරා ගැනීමේ පරික්ෂණ තියනවා ඒකට ගිහින් බලන්න කියලා. ඉතිං මම ඒ සම්මුඛ පරික්ෂණ වලට මුහුණ දුන්නා. එතැනින් මාව තෝරා ගත්තා.

  • නාඩගම්කාරයෝ ඔබේ රංගන දිවියේ සුවිශේෂී තැනක් නේද?

ඔව් අනිවාර්යයෙන්ම. නාඩගම්කාරයෝ කතාවේ  ගීතිකා ගේ චරිතය මම ගොඩක් ආසාවෙන් රඟපෑම් කළ චරිතයක්. ඒ වගේම නාට්‍ය සෑහෙන ජනප්‍රිය වුණා. නාඩගම්කාරයෝ නාට්‍යයේ සියළුම දෙනාව මේ වෙලාවේ ආදරයෙන් මතක් කරන්න ඕනෙ.

  • ගීතිකා චරිතය ඔබ දකින ආකාරය?

ඇත්තටම මට තාමත් හුඟක් අය අදටත් කතා කරන්නේ ගීතිකා කියලා. මම දකින්නේ ගීතිකා කියන්නේ බොහෝම අහිංසක, කලාවට ආදරය කරන අව්‍යාජ ගැමි කෙල්ලෙක් විදිහට.

  • මෙගා ටෙලි නාට්‍ය ගැන ඔබේ අදහස මොකක්ද?

මම හිතන්නේ ඕනෑම ටෙලි නාට්‍යයක් හොඳ තිර රචනයක්‍, අධ්‍යක්ෂණයක්, කැමරාකරණයක් හා රඟපෑමක් වැනි දේවල් වලින් සම්පූර්ණ නම් ඒක මෙගා ද නැත්නම් කෙටි නාට්‍යයක් ද කියන එක අදාළම නෑ. මම මෙගා වල ටෙලි නාට්‍ය වල වැරැද්දක් දකින්නේ නෑ. ඒ වගේම මම පීරියඩ් නාට්‍ය වල රඟපාන්න හුඟක් කැමතියි. මොකද  ඒකේ නිදහස තියනවා. මෙගා නාට්‍ය ටිකක් කාර්‍යබහුල කාලසටහනක යන්නේ. හැබැයි අපිට චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් නම් ඒ විදිහෙ වර්ග කිරිමක් අවශ්‍ය වෙන්නේ නෑ.

  • මියුසික් විඩියෝ වලට ඔබේ  පැමිණීම ගැන අපි කතා කළොත්.

මම මුලින්ම මියුසික් විඩියෝ එකකට සම්බන්ධ වෙන්නේ ශෂිකා අක්කාගේ චන්ද්‍රා පායන්න ගීතයට. මම හරිම ආසාවෙන් කළ විඩියෝ එකක්. ඉතිං ඒ සියළුම දෙනාට බොහෝම ස්තුතියි මාව ඒකට තෝරා ගත්තාට. ඇත්තටම ඒක වෙනස් අත්දැකීමක්. නාට්‍යයක රඟපානවට වඩා වෙනස් මියුසික් විඩියෝ එකක රඟ දක්වනවා කියන්නේ. මම හුඟක් මියුසික් විඩියෝ වලට පෙනී ඉන්න කෙනෙක් නෙමෙයි. නමුත් මම බාර ගන්න නිර්මාණ වලට උපරිම සාධාරණයක් ඉටු කරන්න මම කැප වෙනවා.

  • මේ දිනවල ඔබ පෙනී සිටින අලුත්ම නිර්මාණ මොනවද?

සිරස රූපවාහිනියේ  විකාශනය වන සර්කස්කාරයෝ සහ හිරු රූපවාහිනියේ විකාශනය වන රැල්ල වෙරළට ආදරෙයි කියන ටෙලි නාට්‍ය දෙකේ මේ දවස් වල මම ඉන්නවා.

  • ඉදිරියේදී එන්න තියෙන නිර්මාණ මොනවද?

කසුන් සමීර අයියගේ ‘සීසන්’ ටෙලි නාට්‍යය ඉදිරියේ දී  එන්න තියෙනවා. ඒ වගේම මියුසික් විඩියෝ දෙකකුත් එන්න තියනවා.

  • ඔබේ අධ්‍යාපන කටයුතු ගැන යමක් කිව්වොත්.

මම දැනට පෞද්ගලික විශ්ව විද්‍යාලයක මනෝ විද්‍යා උපාධිය හදාරනවා. දැනට අවුරුදු 3 ක් ඉවරයි මේ අවසන් වසර.

  • ඔබේ අනාගත සහකරු මොනවගේ කෙනෙක් වෙන්න ඕනෙද?

මම බලාපොරොත්තු වෙන්නේ මගේ වැඩවලට සහය දෙන, අවංක සහ  අපිට එකතුවෙලා ජීවිතය ලස්සනට ගෙන යන්න පුළුවන් කෙනෙක්ව.

  • අනාගත අපේක්ෂාවන් මොනවද?

මගේ දැනට තියන වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන ගමන් මගේ අධ්‍යාපන කටයුතු හොඳින් නිම කරන්න මම බලාපොරොත්තු වෙනවා.

  • ඔබේ ප්‍රේක්ෂකයන්ට මොනවද කියන්න තියෙන්නේ?

ඇත්තටම මට හරිම සතුටුයි. ඒ වගේම මම ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. අනිවාර්යයෙන්ම ඒ අයගේ රසවින්දනය වැඩි කරන ගුණාත්මක නිර්මාණ ඉදිරියේ දී බලා ගන්න පුළුවන් වෙයි. ඉතිං හැමදාම වගේ මාත් එක්ක ඉන්න. ආදරෙයි ඔය හැමෝටම.

සටහන
මොහාන් සුරවීර

Facebook
Facebook