සුවපත් මනසක්

සැහැල්ලුව > ප්‍රබෝධය > ජයග්‍රහණය

මානසික සෞඛ්‍යය යන්නෙන් අදහස් කරන්නේ පුද්ගලයෙකුගේ චිත්තවේගීය, මානසික සහ සමාජයීය යහපැවැත්මයි. එනම්, අපිට දැනෙන සිතුවිලි, හැඟීම් සහ අපේ හැසිරීම කියන කොටස් තුනේම හොඳ සම්බන්ධතාවක් පවත්වාගෙන යාමයි. ඒ තුළින් සාමාන්‍ය ජීවිතය සමබර ලෙස පවත්වාගෙන යාමටත්, ජීවිතයට එන අභියෝග වලට සාර්ථකව මුහුණ දීමටත් පහසු වේ.

අප කායිකව අසනීප වූ විට දී වෛද්‍යවරයකු වෙත ගොස් ඖෂධ ලබාගැනීමට දෙපාරක් සිතන්නේ නැත. නමුත්, අප මානසික ගැටලු වලට මුහුණ දෙන අවස්ථාවක දී ඒ සඳහා මනෝවිද්‍යා උපදේශනය හෝ අදාළ වෘත්තීමය සහයෝගය ලබා ගැනීමට මැළිකමක් දක්වනවා. මෙලෙස මානසික සෞඛ්‍යය පිළිබඳව වැඩි සැලකිල්ලක් නොදැක්වීමට පහත හේතු බලපායි.

  • අප වටා සිටින අය අපි කෙරෙහි වැරදි අවබෝධයක් ඇති කරගනියි යැයි බියෙන්.
  • මානසික සෞඛ්‍යය හා යහපැවැත්ම පිළිබඳව ඇති අඩු අවබෝධය.
  • මානසික සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට ඇති සම්පත් සීමිත වීම.
  • මානසික සෞඛ්‍ය පිළිබඳ මිථ්‍යා මත එල්බගෙන සිටීම.

අප අභියෝගකාරී අවස්ථාවක දී,  මානසික බිඳ වැටීමකට  පෙර, අපගේ මානසික සෞඛ්‍යය හා යහපැවැත්ම පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වේ.

පවුලේ අය සමඟ සතුටු සාමිචියේ යෙදීම, පොතක් කියවීම, ගීතයක් රසවිඳීම, වාදනය කිරීම, මල් පැළයක් සිටවීම, සුරතල් සතෙක් සමග කාලය ගත කිරීම ආදියට අපේ මානසික සෞඛ්‍යය යහපත් ලෙස පවත්වා ගෙන යාමට හැකියාවක් ඇති බව ඔබ මතක තබාගත යුතුයි.

මෙසේ කිසිදු මුදලක් වැය නොකර අපට පුංචි දේවල් වලින් මානසික සහනයක් ලබා ගැනීමට හැකියාවක් ඇත. නැත්නම් ජීවිතයේ ඒකාකාරී බව නිසාම දැඩි වෙහෙසක් දැනෙන්නට පුළුවන්. මේ දේවල් මගහැර ගැනීමට නම්  අපි වෙනුවෙන් පොඩි වෙලාවක් වෙන්කර ගැනීම හරිම වැදගත්.

අප ආයතන සමූහයේ මනෝ උපදේශිකාවන් විදිහට ආයතනයේ සේවය කරනු ලබන සියලුම සාමාජික සාමාජිකාවන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳව අපි උනන්දු වෙමු. ඒ විතරක් නොවේ, ඔබගේ පවුලේ කෙනෙකුගේ ගැටලු වල දී පවා, ආයතනයේ උපදේශන අංශය විසින් ඔවුන්ට අවශ්‍ය මඟපෙන්වීම සිදුකරනු ලබයි. පැය 24 පුරාවටම උපදේශන සේවාව ලබා දීමට නිරතුරුවම ආයතනයේ උපදේශන අංශය සූදානමින් සිටියි. ඒ වගේම දුරකථනය ඔස්සේ ද අපගේ උපදේශන සේවාවන් ලබා ගැනීමට ඔබට හැකියාවක් ඇත. දැඩි මානසික පීඩාකාරී අවස්ථාවන් වල දී ඔබට  වැඩිදුරටත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නම්  ඒ සඳහා ද නීතිමය උපදෙස් වැනි බාහිර සේවාවන් සඳහා ද මඟ පෙන්වීම් කරනු ලබයි.

එවැනි අවස්ථාවන් වල දී ඔබගේ මානසික තත්ත්වය යහපත් මට්ටමකට පැමිණෙන තුරු නිරන්තරයෙන්ම පසු විපරම් කිරීම තුළින් ඔබගේ මානසික සෞඛ්‍යය  පිළිබඳව සැලකිලිමත් වීමට අපි බැඳී සිටින්නෙමු.

ඉන්දීවරී විජයබණ්ඩාර
මනෝ උපදේශිකා – බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනය

Facebook
Facebook