1. ලෝක ළමා දිනය වෙනුවෙන් බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනයෙන් වැඩසටහන් රැසක්

ලෝක ළමා දිනය තේමා කරගනිමින් දරුවන් වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනය මඟින් සිදු කෙරුණා. මෙහි එක් අදියරක් ලෙස මාපිය රැකවරණය අහිමි වූ දූ දරුවන් සඳහා පොත්පත්, ලිපිද්‍රව්‍ය, සෙල්ලම් බඩු හා අනිකුත් ඉගෙනුම් උපකාරක අයිතම බෙදා දීමක් පසුගිය ඔක්තෝම්බර් හතර වන දා කොස්ගම සර්වෝදය ළමා නිවාසයේ දී සිදු කෙරුණා. එහි දී බෙදා දුන් සියළුම ද්‍රව්‍ය පරිත්‍යාග කරනු ලැබුවේ ද බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනයේ සාමාජික සාමාජිකාවන් විසිනුයි.

එසේම මේ හා සමගාමීව අවිස්සාවේල්ල අපේ රන්දරු ශිෂ්‍යත්ව ප්‍රදානය පසුගිය ඔක්තෝම්බර් දහතුන් වන දින,  ආයතන පරිශ්‍රයේ දී සිදු කෙරුණා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය, අ. පො. ස. සාමාන්‍ය පෙළ, විශ්වවිද්‍යාල ප්‍රවේශය යන කඩයිම් ජයගත් දුවා දරුවන්ව එදින ඇගයීමට ලක් කෙරුණා. මේ අවස්ථාවන් සඳහා විධායක නිලධාරීන් මෙන්ම කාර්‍ය මණ්ඩල නිලධාරීන් ද සහභාගී වුණා.

2. බ්‍රැන්ඩික්ස් ක‍ටුනායක ආයතනයේ වාර්ෂික සේවක සභා පුහුණුව පැවැත්වෙයි

පසුගිය ඔක්තෝම්බර් 13 වන දින බ්‍රැන්ඩික්ස් ක‍ටුනායක ආයතනයේ සේවක සභා සාමාජිකයින් හට පවත්වන වාර්ෂික පුහුණු වැඩසටහන සීදූව Onrich හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණා. මෙහි දී, සේවක සභා නිලධාරීන්ගේ කාර්‍යභාරය සහ සුබසාධන කටයුතු පිළිබඳව එම පිරිස දැනුවත් කෙරුණු අතර අවස්ථාව සඳහා මානව සම්පත් අංශයේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී කර්නල් සුජිත් ජයසේකර මහතාත්, සමූහ මානව සම්පත් කළමණාකාරිණී සවින්දිකා යාපා මෙනවියත්, බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් හී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චාමිකර ජයකොඩි මහතාත් සහභාගී වුණා.

3. ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් බ්‍රැන්ඩික්ස් වෙතින් වැඩසටහන් මාලාවක්

ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව බ්‍රැන්ඩික්ස් මනෝ උපදේශන අංශය මගින් සංවිධානය කෙරුණු සාකච්ඡා වැඩසටහන් මාලාවක් ගෙවුණු ඔක්තෝම්බර් මාසයේ දී ආයතන සමූහය පුරා පැවැත්වුණා. යහපත් මානසික සෞඛ්‍ය ඇති කරගන්නා ආකාරයත්, ඒ සඳහා බලපාන සාධකත් ආදී වැදගත් කරුණු රැසක් ඒ හරහා සාකච්ඡා කෙරුණා. දැන් මෙම වැඩසටහන් ඔබට වියමන් ටීවී යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.

4. බ්‍රැන්ඩික්ස් පොළොන්නරුව  ආයතනයේ ලේ දන් දීමේ වැඩසටහන මෙවරත්

බ්‍රැන්ඩික්ස් පොළොන්නරුව ආයතනයේ B සේවා මුරයට අදාළ ලේ දන් දීමේ වැඩසටහන පසුගිය ඔක්තෝම්බර් මස 10 වන දින එම ආයතන පරිශ්‍රයේ දී පැවැත්වුණා. මෙහි දී, සාමාජික සාමාජිකාවන් 170 ක් ලේ දන් දීමෙන් මේ සඳහා දායකත්වය ලබා දුන්නා.

5. බ්‍රැන්ඩික්ස් රිදීගම ආයතනයෙන් ළිහිණිවැහැර ප්‍රාථමික විදුහලට තිළිණයක්

බ්‍රැන්ඩික්ස් රිදීගම ආයතනය මගින් ලෝක ළමා දිනයට සමගාමීව ළිහිණිවැහැර ප්‍රාථමික විද්‍යාලයේ 1 සහ 2 ශ්‍රේණිවල දුවා දරුවන් වෙනුවෙන් විනෝද ක්‍රීඩා දිනයක් පසුගිය ඔක්තෝම්බර් දෙවන දා පැවැත්වූවා. මේ සඳහා මානව සම්පත් කළමනාකාරිණී චලනිකා සුබසිංහ ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගි වූවා.

 

Facebook
Facebook