පේළි වැස්ස

උදේ ඉඳලා වැඩ කරලා මහන්සි වෙලා අනුසරා ගෙදර ආවෙ දැන්. වෙනදට නං ගෙදරට ගොඩ වෙද්දි අම්මා ගේ දොරකඩ ඉඳන්, හිනා කටක් පුරෝගෙන මග බලාගෙන ඉන්නවා අනුසරාව පිළිගන්න. අද නං අම්මා පේන්න නෑ. ඒත් දොර නං ඇරලා දාලා.

අනුසරා සද්දයක් නොකර ගෙට ඇතුළ් උනා. අක්කා පොඩි එකාව නළවන සද්දෙයි, තාත්තා විට ඒදන සද්දෙයි සාලෙ දෙපැත්තෙ තියෙන කාමර දෙකෙන් වෙන වෙනම ඇහුණා. අනුසරා කුස්සියට එහා පැත්තෙ තිබ්බ තමන්ගෙ කාමරේට රිංග ගත්තා. කුස්සියේ ඉන්න කවුද කියලා නොපෙනුණාට අම්මා අනුසරාව පිළිගන්න ඉස්සරහට නාපු හේතුව නං අනුසරාට අගේට තේරුණා.

කුස්සියෙන් අම්මගෙ හූමිටි සද්දෙත් එක්ක තවත් කටහඬක් ඇහෙනවා. මංගො නැන්දා. තාත්තගෙ අක්කා කෙනෙක් උන මංගො නැන්දා ගැන ගෙදර කාටවත් හොඳ හැඟීමක් නං තිබ්බෙ නෑ. අඩුම තරමෙ තාත්තටවත්. මංගො නැන්දා ඒ තරම් හොඳයි. අදත් මොන ගිනි ගෙඩියක් දෙන්න ආවද කියලා හිත හිත අනුසරා බෑග් එක පැත්තකින් තියලා පුටුවෙන් වාඩි උනා. මංගො නැන්දගෙ කට හඬ ඒ වෙද්දිත් අනුසරාගෙ කාමරේට හොඳට ඇහෙනවා. අම්මා හූමිටි තිය තිය අහන් ඉන්නවා මිස වචනයක් කියන්නෑ. මෙයත් එක්ක කට ගහගෙන යන්න තරම් අම්මා කට මුවහත් වෙච්ච ගෑනියෙක් නෙවෙයි කියලා අනුසරා දන්නවා.

“දැන් බලපන් නංගි, කසාදෙ කඩාගෙන ගෙදර ආ ගෑනියෙක්ගෙන් පලක් තියෙනවද? ඇරත් දරුවෙකුත් එක්ක? නංගි ගෑනියෙක් උනාම තමන්ගෙ මිනිහා එක්ක මොන ප්‍රස්නෙ උනත් ඉවසගෙන, ඉහ ගහගෙන ඉන්න දැනගන්න ඕනි. කොහොමත් දරුවෙක් එක්ක තනි වෙච්ච ගෑනියෙක් දිහා ආය මොන පිරිමියද බං බලන්නෙ. ඉතිං බලපං, ලොක්කි කසාදෙ කඩාන ඇවිත් දරුවත් එක්ක තනි උනානෙ. යස අගේට තිබ්බ කසාදෙනෙ, මිනිහා චුට්ටක් බිව්වයි කියලා මැරෙනවයැ. ඇරත් වටේපිටේ මිනිස්සු උනත් දැන් ඒකි දිහා බලන්නෙ එච්චර හොඳ විදියට නෙවෙයිනෙ”

ඒ එක්කම තාත්තා උගුර පාදන හඬ ඇහුණා. තාත්තා අනුසරාගෙ කාමරේ ඉස්සරහා එහා මෙහා යන බව දොර රෙද්දෙන් ඡායාවක් වගේ පෙනුණා. ‘අනේ මන්දා’ අනුසරාට හිතුණා. මංගො නැන්දා කියන්නෙ අක්කා ගැන. ඇත්ත, අක්කා දික්කසාද වෙලා ඇවිත් දැන් හය මාසෙකට වැඩියි. ඒත් අක්කා දික්කසාද උනේ රුවන් අයියා චුට්ටක් බොන හින්දා නං නෙවෙයි. ඒ මිනිහා කණමදයා වගේ බීගෙන එනවා විතරක් නෙවෙයි, බැඳපු කාලෙම පටන් ගත්තු තඩි බෑවිල්ල දරුවා හම්බෙන්න ඉන්න කාලෙත් දිගටම කෙරුණු හින්දා. තාමත් ඒ පාරවල් වල පැල්ලම් අක්කගෙ ඇඟ පුරාම තියෙනවා. අක්කා ඕවා කිව්වෙ දික්කසාද වෙන්න ඔන්න මෙන්න තියලා. නැත්තං තාත්තා ගිහින් අක්කව එක්කන් එන්නෙ ඔයිට කලින්. කොහොමත් අක්කා හිතුවක්කාරකමට කරගත්තට අම්මලා නං ටිකක්වත් කැමති උනේ නෑනෙ මේ කසාදෙට. අනුසරාට ඕවා මතක් වෙලා නිකංම හුස්මක් හෙළුණා. ඒ අතරෙත් මංගො නැන්දා කියවනවා.

“පොඩි එකීට යන කලදසාව බලපන් දැන්. අක්කා දික්කසාද ගෑනියක් කියලා දැනගත්තාම එන පිරිමිත් හැරිලා යනවා. ඇරත් දැන් ඒකිගෙ දීගතල යන වයසත් පහු වීගෙන යන්නෙ. දැන් විසි පහකට වැඩියිනෙ.”

“හ්ම්ම්” අම්මා කියන්නෙ ඔච්චරයි. තාත්තා ආයෙත් ටිකක් සද්දෙන් උගුර පෑදුවා. මංගො නැන්දට නං වගේ වගක් නෑ අම්මාගෙන් උත්තරයක් නෑ කියලා. ඔහේ කියවගෙන යනවා. වෙලාවකට අනුසරාට අම්මත් එක්ක තරහයි, හොඳවයින් දෙකක් කියන්නැති එකට. ඒත් අම්මා කවදාවත් එහෙම කියවගෙන යන ගෑනියක් නෙවෙයි කියලා අනුසරාට ඔහොම තරහ යන හැමතිස්සෙම මතක් වෙනවා.

“..ඇරත් බං ගෑනු රස්සා කරලා හරි යනවා ඇයි. ගෑනු ඉන්නෙ දරු මල්ලො නළවගෙන උයා පිහාගෙන ගෙවල් දොරවල් බලාගෙන ඉන්ඩ. ඒ මිස ගෑනු රස්සා කරන්න නරකයි. ඔයි බොහොමයක් කසාද කඩලා යන්නෙත් ගෑනු රස්සා කරන හන්දා. ලොක්කිත් ඉතිං රස්සාව හින්දා ඔළුව උදුම්මන්නෙ හිටියෙ ඒ දවස් වල ඉඳලා. මං මේ කල්පනා කරන්නේ ලොක්කිට නං කඩාගෙන එන්න හරි දීගයක් තිබ්බා, පොඩි එකීට නං එහෙම එකක්වත් හරි යයිද මන්දා, නැද්ද මං කියන්නෙ?”

“මංගො අක්කෙ උඹ කවදා ඉඳලද මගෙ කෙල්ලො දෙන්නා ගැන මෙච්චර වද වෙන්න පටන් ගත්තෙ?” තාත්තා ගැඹුරු, උස් හඬකින් අහනවා අනුසරාට ඇහුණා.

“මේ කෙල්ලො හැදිලා තියෙන්නෙ අතපල්ලෙන් වැටිලා නෙවෙයි. උන් ඔහේ හැදුණට හැදිච්ච උන් නෙවෙයි. නෝනයි මායි බොහෝම දුක් මහන්සියෙන් උන් හැදුවෙ, කාටවත් අත නොපා කොන්ද කෙළින් තියන් ජීවත් වෙන්න.”

තාත්තගෙ සැර කටහඬ ඇහුණට මංගො නැන්දගෙන් නං එක වචනයක් තියා මීක් හඬක්වත් පිට වෙනවා ඇහුන්නෑ. මේ වෙලාවෙ මංගො නැන්දගෙ මූණු පොඩ්ඩ බලා ගන්න තිබ්බා නං කියලා හිතුණත් අනුසරා එළියට ගියෙ නෑ.

“ඔව්, ලොකු එකී කසාදෙ ඇරලා ආවා තමයි. අපි එපා කියද්දි  ඒකි ඕක කරගත්තු එක ඒකිගෙ කරුමෙ. ඒක උඹ හොඳටම දන්නවනෙ. එහෙමයි කියලා ජීවිත කාලෙම කොහෙවත් යන කාලකණ්ණි බේබද්දන්ගෙන් ගුටි කකා ඉන්න ඒකි කාත් කවුරුවත් නැති එකියක් නෙවෙයි. ඒකිට මෙහෙ හිටිය හැකි ඕනි තරං කාලයක්. ගහේ ගෙඩි ගහට බර නෑ. කෙල්ලො කියන්නෙ සෙල්ලං බඩු නෙවෙයි එක එකාගෙන් ගුටි කන්නයි, පාවිච්චි කරලා අහක දාන්නයි. එහෙම හිතන කාලකණ්ණි පිරිමියි ගෑනුයි ඉන්න බව අපි නොදන්නවා නෙවෙයි” තාත්තා එහෙම කිව්වෙ මංගො නැන්දගෙ සෙල්ලක්කාර, බේබදු පුතා ගැන හීං ඉඟියක් දෙන ගමන්. ඒ අතරට අක්කත් පොඩි එකාව නළව නළව කාමරේට ආවෙ ඇස් දෙකත් ලොකු කරගෙන. අක්කා මොනවදෝ කියන්න හැදුවත් අනුසරා තොල් හරහට ඇඟිල්ල තියලා අක්කට කට වහගන්න කියලා ඉඟි කළා. පොඩි එකාව අතට ගන්න ලොකූ ආසාවක් ආවත් තාමත් වැඩට ගිහින් ආපු ගමන් හින්දා අනුසරා පොඩි එකාව අල්ලන්නවත් ගියේ නෑ. තවමත් තාත්තගෙ කටහඬ කුස්සියෙන් පටන් ගෙන මුළු ගෙදර පුරාවටම යනවා.

“පොඩ්ඩිට කසාද ඕනි නං ඒකි ගැළපෙන කෙනෙක් හොයාගනියි. නැත්තං අපිට පුළුවන් හොයලා දෙන්න. උඹ ඒ ගැන කරදර වෙන්න ඕන්නෑ. ඇරත් පොඩ්ඩි බඳින්නෙ පොඩ්ඩි ගැන වද වෙන මිනිහෙක් මිස ඒකිගෙ අක්කගෙ පට්ටන්දරේ හොයන චීත්තයක් වගේ මිනිහෙක් නෙවෙයි. අනික උන් රස්සාවක් කරන එකෙන් කවදාහරි බඳින මිනිහටත් හයියක් වෙනවා මිස ඒ මිනිහටත් බරක් වෙවී පියරු බබාලා වගේ ගේ ඇතුළටම වැදිලා කාලෙ කන්න පුරුදු වෙන්නෑ.” ආයෙමත් හීං කණේ පාරක්. ඒ ඉඟිය අනුසරාට වඩා දෑවුරුද්දක් විතර බාල මංගො නැන්දගෙ පොඩි දුව ගැන. අක්කගෙ ඇස් අනුසරා බලන් ඉද්දිම තවත් ලොකු වුණේ තාත්තා කලින් කවදාවත් මේ විදියට මංගො නැන්දට කතා කරලා නැති හින්දා. ඒත් අද නං තාත්තට හුඟක් කේන්ති ගිහින් කියලා අනුසරාලට තේරුණා.

“උඹ අනුන්ගෙ ඇස් වල තියෙන රොඩු හොයන්ඩ කලින් තමන්ගෙ ඇහේ තියෙන පොල් පරාලෙ අයින් කරගෙන ඉඳහන් අක්කෙ, නිකං අපේ ලේ කෝප කරවලා අපට පව් සිද්ද කරන්නැතුව.”

තාත්තා ආයෙමත් බර අඩි තිය තිය ඉස්තෝප්පුවට යනවා අනුසරාටයි අක්කටයි ඇහුණා. ඊට පස්සෙ කිසිම සද්දයක් ඇහුන්නෑ. අනුසරයි, අක්කයි උන්න තැන් වලම හිටගෙන හිටියෙ ලොකු හිනාවක් තද කරගෙන. ඒ එක්කම පිළිකන්න පැත්තෙ තියෙන මළකඩ කාපු, පරණ, පොඩි ගේට්ටුව කාලෙකට පස්සෙ ඇරෙන සද්දෙට අනුසරයි අක්කයි අනුසරාගෙ කාමරේ ජනේලෙ ළඟට දිව්වා. මංගො නැන්දා කළු පාට බෑග් එකත් එල්ලගෙන වේගෙන් වේගෙන් බාගෙට ඇරුණ ගේට්ටුවෙන් එළියට යනවා අනුසරාලට පෙනුණා.

Facebook
Facebook