NEWS තුළින් සිරිත් විරිත් - ලොවට කියන සරිත් සුරිත්

“පොඩ්ඩන්ට පුළුවන් ” රූපවාහිනී වැඩසටහනෙන් කලඑළි බැස්ස, ලාංකිය කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කරපු නම් දෙකක් තමයි  “සරිත් සහ සුරිත් ” කියන්නේ. ඒ වගේම ඔවුන්ගේ නිවුස් සංගීත කණ්ඩාම විශාල දෙස් විදෙස් රසික ජනාදරයට පත් වුණ බෑන්ඩ් එකක්. ඔවුන්ගේ අලුත්ම සිංදුව මේ වනවිට යූටියුබ් අවකාශයේ අතිශයින්ම ජනප්‍රිය ගීතයක්. ඒ නිසාම අද වියමන් දවල් තරු සමග කතාබහකට අපි එකතු කර ගත්තා  සරිත් ජයවර්ධනව.

  • මුලින්ම ඔයාලගේ ජීවන තොරතුරු ටිකක් කියමු.

මේ දවස්වල සුපුරුදු විදිහට අපේ වැඩකටයුතු ටික කරගෙන, සංගීත වැඩ වගේම අධ්‍යාපන කටයුතුත් ටිකක් බොහොම අමාරුවෙන් බැලන්ස් කරගෙන සතුටින් ඉන්නවා.

  • පවුලේ විස්තර ටිකක් කියමු.

ගෙදර ඉන්නේ අම්මී නිලුකා ජයවර්ධන, තාත්තී ජගත් ජයවර්ධන, නංගී තරුෂි ජයවර්ධන. තාත්තී කොළඹ ආනන්ද විදුහලේ ගුරුවරයෙක්, දැන් විශ්‍රාම අරගෙන ඉන්නේ. අපි දෙන්නා නිවුන්නු. සුරිත් මල්ලී, මම අයියා.

  • පාසල් කාලයේද මේ සංගීතය පැත්තට යොමු වුණේ?

අපි මුලින්ම පාසල් යන්නේ මාතර රාහුල විදුහලට. ඊට පස්සේ කොළඹ ආනන්ද විදුහලට. ඒ කාලේ අපි ඉස්කෝලේ ලොකුවටම මියුසික් වලින් කැපී පෙනෙන චරිත දෙකක් නෙමෙයි. හැබැයි අපි ඔය සමස්ත ලංකා තරඟ වලට ගිහින් ජයග්‍රහණය කරලත් තියනවා. සිරස පොඩ්ඩන්ට පුළුවන් තරඟයට සහභාගි වුණාට පස්සේ තමයි අපි සංගීතය පැත්තට හුඟක්ම නැඹුරු වුණේ.

  • කොහොමද සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ.

අපේ ගෙදර තිබුණේ සම්පූර්ණයෙන්ම සංගීත පසුබිමක්. අපේ තාත්තී මියුසික් කරනවා. එයා ආනන්ද විදුහලේ ඉන්න කාලේ ඉඳන් සංගීතය කළා. මං හිතන්නේ ඒක තමයි අපිවත් මියුසික් පැත්තට හැරෙන්න හුඟක්ම බලපෑම වෙන්නේ.

  • නමුත් උසස් අධ්‍යාපනය ලබන්නේ වෙනම ක්ෂේත්‍රයක නේද ?

ඔව් මම කරන්නේ ෆැෂන් ඩිසයිනින් , සුරිත් කරන්නේ ඉන්ටීරියල් ඩිසයිනින්.

  • ඇයි ඒ? ගෙදරින් බලපෑම් කළාද?

ගෙදරින් කවදවත් අපිට බලපෑම් කලේ නෑ. සංගිතය කරන්න ඔනේ , එහෙම නැත්නම් වෙනත් දෙයක් කරන්න ඔනේ කියලා. අපිට ආස දේ අපි කලා.

  • පොඩ්ඩන්ට පුළුවන් තරඟය ඔබේ ජීවිතය වෙනස් කරනවා නේද ?

ඔව්, අපේ ලයිෆ් එකේ ලොකුම ටර්නින් පොයින්ට් එක කියලා කියන්න පුළුවන්. කමර්ෂල් මියුසික් වර්ල්ඩ් එකට අපි දෙන්නා හරියටම එන්නේ. ඒ තරඟයෙන් පස්සේ තමයි. ඇත්තටම ඒ තරඟය අපිට ලොකු  අවස්ථාවක් වුණා.

  • සරිත් සුරිත් ඇන්ඩ් ද නිවුස් සංගීත කණ්ඩායම පටන් ගන්නේ කොයි කාලේද? කොහොමද ?

පොඩ්ඩන්ට පුළුවන් තරඟයෙන් පස්සේ අපි දෙන්නා  ගොඩක් ප්‍රසංග වලදී යුගලයක් විදිහට සහභාගී වුණා. කාලයක් යනකොට අපි දෙන්නටම අවශ්‍ය වුණා. මියුසික් බෑන්ඩ් එකක් දාන්න. එතකොට අපි 10 ශ්‍රේණියේ හිටියේ. ඊට පස්සේ අපි පාසලෙන් කීප දෙනෙක් තෝරා ගත්තා අපේ බෑන්ඩ් එකට. ඒ විදිහට තමයි නිවුස් බෑන්ඩ් එක 2015 දී පටන් ගන්නේ.

  • එහෙම නමක් දාන්න හේතුවක් තිබුණද?

අපේ තාත්ති තමයි බෑන්ඩ් එකට නම දැම්මේ. නිවුස් එකක් කියන්නේ අපි හැම වෙලාවෙම කුතුහලයෙන් හොයන දෙයක්. ඒ වගේම නිතරම අලුත් දෙයක් දෙන්න තමයි අපි හදන්නේ. ඒ වගේ අදහසක් එන්න තමයි සරිත් සුරිත් ඇන්ඩ් ද නිවුස් කියන නම දාන්න හේතු වුණේ.

  • ජාතික තලයෙන් ජාත්‍යන්තර වේදිකාවට යන්න අදහසක් නැද්ද?

අපි හුඟක් විදෙස් සංචාර වලට සහභාගී වෙනවා. නමුත් තව අපි තාම පටන් ගත්තා විතරයි. තව සංගීතය ගැන ඉගෙන ගන්න ඕනේ. මුලින්ම අපිට අවශ්‍ය වුණේ ලංකාවේ ප්‍රේක්ෂකයන්ට හොඳ දෙයක් ලබා දෙන්න.

  • ලාංකීය කණ්ඩායම් සංගීතයේ වෙනසක් ඇති කළේ කොහොමද ?

ඇත්තටම ඒක වෙනසක් ද නැද්ද කියලා කියන්න මට තේරෙන්නෙ නෑ. අපි කරන්නේ අපි ආස සංගීතය, අපිට වැඩියෙන්ම ෆීල් , විඳින්න පුළුවන් වෙන සංගීතය අපේ ප්‍රේක්ෂකයන්ට ලබා දෙන එක. මුලින්ම අපි කරන්න යන වැඩේට  අපේ බෑන්ඩ් එකේ අයගේ කැමැත්තත් අවශ්‍ය වෙනවා. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ හොඳ නිර්මාණයක් කරන්න. මම හිතනවා අපිත් එක්ක ඉන්න අයත් ඒ වයිබ් එකට සෙට් වෙනවා කියලා.

  • අනිවාර්යයෙන්ම ලොකු හීන ඇති අනාගතය ගැන.

අපි දෙන්නට මුලිකවම අවශ්‍ය සතුටින් ජීවත් වීම තමයි. ලංකාවේ තියන හොඳම බෑන්ඩ් එක වෙනවා කියන හීනයක් අපිට නෑ. අපිට කැමති දේ අපි කරනවා, ඒ වටේ ඉන්න ප්‍රේක්ෂකයන්ට අපි මාර ආදරෙයි. ඉන්නේ කී දෙනාද කියලා වැඩක් නෑ. අපේ නිර්මාණ රස විඳින හැමෝටම අපි ආදරය කරනවා.  ඒ කියන්නේ අනිත් අයට ආදරය නෑ කියන එක නෙමෙයි, අපිට ලොකු පිරිසක් ඉන්න ඕනෙ කියන එක කියන තැන අපි නෑ. සංගීතය තෙරෙන පිරිසක් ඉන්න එක තමයි අපිට තියන ලොකුම සතුට.

  • සල්ලි ගිතය මේ වෙනකොට යූටියුබ් අවකාශයේ අතිශයින්ම ජනප්‍රිය ගීතයක්. අපි ඒ ගැනත් කියමු.

ඔව් ඒ ගීතය ඔරිජිනල් එකක් විදිහට අපේ ටර්නින් පොයින්ට් එක කියලා කියන්න පුළුවන්. සෑහෙන ජනප්‍රිය වෙලා තියනවා. මම හරිම සතුටින් ඒ ගැන. අපේ අධිමාත්‍රා මෙලඩීස් ගොඩක් ජනප්‍රිය වුණා ලංකාවේ හැමතැනම. ඒ ගීත වල මුල් අයිතිකරුවන්ට, පද සහ තනු නිර්මාණය කළ අයට  මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ වගේ නිර්මාණ කරලා තිබුණ නිසා තමයි අපිට ඒ ගීත වලට  අපේ නව සංයෝජනයන් කරන්න හැකියාව ලැබුණේ. සල්ලි ගීතය සම්පූර්ණයෙන්ම අපේ වැඩක් ඒ නිසා මට දැනෙන සතුට වැඩියි.

  • මෙතෙක් දුර ආව ගමනේ විශේෂයෙන්ම ස්තුති කරන්නේ කාටද?

මුලින්ම අම්මටයි තාත්තටයි , නංගිටයි මගේ පවුලේ සියළුම දෙනාටයි ස්තුති කරන්න ඕනෙ. ඊට පස්සේ අපි දෙන්නා ගිය පාසැල් දෙකේ සියළුම ගුරුවරුන්ට සහ අපේ ජීවිතයේ වැදගත්ම හැරවුම් ලක්ෂ්‍යය වුණ “පොඩ්ඩන්ට පුළුවන් ” තරඟය සංවිධානය කළ සිරස ටීවී ආයතනයටත් ජාතික රූපවාහිනීයේ කරපු වැඩසටහන් වලින් අපිට මෑත කාලයේ විශාල ප්‍රසිද්ධියක් ලැබුණා. ඒ ජාතික නාලිකාවේ රවින්ද්‍ර මුණසිංහ මහතාටත්, සිරස මාධ්‍ය ආයතනයේ සුසාර දිනාල් මහතාටත්, ප්‍රදීප් මහේෂ් ලියනගේ මහතාටත් විශේෂ ස්තූතිය පුද කරන්න ඕනෙ.  ඊට අමතරව අපේ සංගීතය විශ්වාස කරලා අපිත් එක්ක හැමදාම ඉන්න අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මගේ ගෞරවනීය ස්තුතිය හදවතින්ම පුදකරනවා. අපිත් එක්ක මෙච්චර දවසක් හිටියා වගේම දිගටම ඉන්න ඉදිරියේදී අපි ඔය හැමෝටම සතුටු වෙන්න පුළුවන් ලස්සන වැඩ කීපයක් අනිවාර්යයෙන්ම කරනවා.

සටහන්
මොහාන් සුරවීර

Facebook
Facebook