මේ ලෝකේ හරි පුදුමයි. සමහරුන්ට සමහර දේවල් වැඩිපුර තියෙනවා.ඒ කියන්නේ ඕනෑවටත් වඩා වැඩියෙන්. තව සමහරුන්ට ඕනකරන දේවල් නෑ.
එතකොට මොනවද මේ ඕනෑ කරන දේවල්? ඔන්න ඕක තමා අද ලිපියෙන් මම කියන්න සූදානම් වෙන්නේ. කොහොම වුණත්,සමහර වෙලාවට අපිට බැරි අමාරුකම් එනවා.ආස කෑමක් කන්න හරි, හෝටලයකට ගිහින් කන්න හරි අතේ සල්ලි තියෙන්න ඕන.
ලස්සනම ලස්සන ඇඳුමක් දැක්කොත්, ඒ ඇඳුම ගන්න සල්ලි තියෙන්න ඕන. එත් සල්ලි අතේ නැත්තං හිතට දුකක් එනවා නේද? මෙහෙමත් හිතන්න..හුඟක් සල්ලි තියෙන පොහොසත් කෙනෙකුටත් ඔය වගේම ආසාවල් තියෙනවා.හොඳ රෙස්ටූරන්ට් එකකින් කන්න, ලස්සන ඇඳුමක් ගන්න ඒ අයටත් බලාපොරොත්තුවක් තියෙනවා.එත් ඒ අයට ඒක ගන්න යන්න වෙලාවක් නැති නිසා ඒ ඇඳුම එයාට ගන්න බැරිවෙන්න පුළුවන්. අසනීපයක් හරි වෙන මොකක් හරි, හේතුවක් නිසා අර කිව්ව කැමතිම කෑමේ රසබලන්න බැරිවෙන්න පුළුවන්.
දැන් කල්පනා කරලා බලන්න..ලැබීම සහ නොලැබීම, එහෙමත් නැත්තම්, ඇති බව සහ නැතිබව එකිනෙකාට සාපේක්ෂයි නේද?
කාල් මාක්ස් නම් දාර්ශනිකයා කිව්ව විදිහට මේ ලෝකේ කවදාහරි උත්තරීතර කොමියුනිස්ට් සමාජයක් (හැමෝම ආසා කරන දේවල් අරගෙන භුක්ති විඳගෙන, සම්පත් බෙදීයාමේ ගැටලුවක් නැති සමාජයක්) බිහිවෙනවා. එතකොට ඇති නැති පරතරයක් නෑ. හැමෝම එක සමානයි.
ඒත් ඇත්තටම ඇති නැති පරතරය තියෙන්නේ මේ සමාජයේ. මට හිතෙන විදිහට ඇති නැති පරතරය තියෙන්න ඕන, හිතේ. මම මෙතනදී ඔයාට කියන්න යන්නේ ආර්ථික තත්වය, භෞතික සම්පත්, යාන වාහන, ඉඩකඩම්,කෑම බීම ගැන නෙවෙයි. මනුස්සකම ගැන. මනුස්සකම තියෙනවානම්, ගුණයහපත්කම තියෙනවානම් අන්න ඒ පුද්ගලයා “ඇති” පුද්ගලයෙක්. මනුස්සකම නැතිනම් ඒ මනුස්සයා “නැති” පුද්ගලයෙක්.
මේ ලෝකේ තියෙන්න ඕන මනුස්සකම ඇති මිනිස්සු හා, නැති මිනිස්සු අතර පරතරය මිසක් වෙන මොකක්වත් නෙවෙයි…
රංගන වඩුගේ