ගැහැනිය

සුමුදු මල් පෙති තරම් සින්දුයි – ඇගේ කම්මුල් ලස්සන
මොනර පිළකට සමයි ඇයගේ කෙහෙරැල්ල මුදු දිලිසෙන
ඈත අහසේ සඳ වගෙයි ඇගෙ මුහුණ පියකරු දිස්වන
අන්න එහෙමයි කවියො ලීවේ කතුන් ගැන කවි හිත් යන

ළදැරිය, දැරිය, තරුණිය, ගැහැනිය වෙනවා
දරුවන් කුස හොවා ඇය අම්මා වෙනවා
ගෙදර දොරේ වැඩ වල ඈ නියැළෙනවා
සැම දේ වගබලා රස්සාවට යනවා

සුකොමළ, කොමළ දෙනෙතින් ලොව බලන කල
ගැහැනිය මවක වූවා හෙට දකින ලොව
එනමුත් දුටුවාද ඇගෙ දිරි හද මඬල
කටුකයි, ගොරෝසුයි හිත දුක් ඇතිදාට

නින්දා, අපහාස ගැරහුම් හිතින් දරා
කඳුළැලි සෝ සුසුම් විටෙකදි නෙතින් හළා
දිරිගත් දියණියකි ගැහැනිය ලෙයින් පවා
ඇය පර්වතකි කාටත් බෑ දමනු හෙළා

ළෙන්ගතුකමත්, කරුණාබර නෙත පාලා
සොයුරිය, යෙහෙළියකි හැම වෙත අත දීලා
සිරිදෙන සිරිකතයි සුරඟන ඇති ලීලා
ලොවක් තනාදුන් කත ගැහැනිය වීලා

කුමරු සිදුහත් බුදුන් වේවිද නොඉවසුව නම් දේවිය
කෝවළන් හැර අයෙක් පැතුව නම් ඉතිරි වේවිද පතිනිය
අන්න එහෙමයි රැක්කෙ ගුණදම් ඔටුනු පළඳන රැජිණිය
නොනිමි පහනකි, සමරමුය අපි ලොවක් දිනු ඒ ගැහැනිය

මධුවන්ති ගීකියනගේ
බ්‍රැන්ඩික්ස් පොළොන්නරුව ආයතනය

Facebook
Facebook