නිසල සුන්දරත්වයෙන් පිරි සුවිසල් දෙව්මැදුර තේවත්ත අප ස්වාමිදූගේ දේවස්ථානය

දෙවන ලෝක යුධ සමයේ දී ශ්‍රී ලංකාවට ආරක්ෂාව පතා සිදුකළ යාඥාවක දී දුන් ප්‍රතිඥාවක් අනුව ඉදි කෙරුණු සුවිසල් දේවස්ථානයයි ලංකාවේ අප ස්වාමිදූගේ දේවස්ථානය හෙවත් රාගම තේවත්ත ජාතික බැසිලිකා සිද්ධස්ථානය.

1951 වර්ෂයේ ඉදිකිරීම් ආරම්භ වූ මෙහි ඉදි කිරීම් අවසන් වූයේ 1974 වර්ෂයේ දී. බැසිලිකාව ඉදිවෙන අතරතුරේම ලංකාවේ අප ස්වාමිදූගේ පිළිමය නිර්මාණය කිරීමත් සිදු කෙරුණා.එම ප්‍රතිමාවේ දෙපතුල් අසළ නා මල් කිණිත්තක් තබා ඇත්තේ ශ්‍රී ලාංකීය අනන්‍යතාව පෙන්‍නුම් කිරීමටයි.

සිද්ධස්ථානයේ ඉදිරිපස කුළුණ එහි ගම්භීර බව තව තවත් වැඩි කරනවා. දේවස්ථානයේ ඉහළ දක්නට ඇති රිදියෙන් කරන ලද කුරුසයේ උස අඩි විසි හතරක්. බැසිලිකාවට යාබදව ඉදිකොට ඇති ලූර්දු ගුහාව බැසිලිකාවේ ඇති අපූර්වතම නිර්මාණයක් ලෙස හැඳින්විය හැකියි. බැසිලිකා අල්තාරයේ පිටුපස කොටස මහල් දෙකකින් යුක්තයි. ඉන් පහළ මහල දිව්‍ය සත්ප්‍රසාද වන්දනාව සඳහා යොදා ගැනෙනවා.මෙම පූජනීය ස්ථානය ඉදිකිරීමට පුරෝගාමී වූ බෙන්ජමින් පියතුමාගේ දේහය මෙම දේවස්ථානයේ තැන්පත් කොට තිබීම විශේෂත්වයක්.

මෙම දේවස්ථානයේ පසෙක ඉදිකර ඇති ළිඳේ ජලය පානය කිරීමෙන් ලෙඩ රෝග සුව වන බවට විශ්වාසයක් පවතින අතර  දේවස්ථානයට අයත් කෞතුකාගාරයේ, දිවයිනේ කිතුණු ඉතිහාසය පවත්වාගෙන ඒමට දායක වූ ගෞරවනීය පූජකතුමන්ලා පරිහරණය කරන දෑ තැන්පත් කර තිබෙනවා.

මෙවන් සුවිශේෂී ආගමික හා ඓතිහාසික වටිනාකමක් රැගත්, තේවත්ත බැසිලිකා දෙව්මැදුර ආගමික භේදයකින් තොරව දහස් සංඛ්‍යාත ජනයාගේ වන්දනාවට පාත්‍ර වෙනවා.