අලුත් අවුරුද්දට ලෑස්ති ද?

ළඟ එන අලුත් අවුරුද්දට ඔයා ලෑස්ති ද? ගෙවල් දොරවල් අස්කරලා, පිරිසිදු කරලා, ඔයත් අලුත් වෙලා, අලුත් අවුරුද්දක් පිළිගන්න බලන් ඉන්නවා නේද? ඒ මොනවා කළත් අලුත් අවුරුද්ද වෙනුවෙන්, ඒ වගේම අලුත් අවුරුද්ද පුරාවටම කළ යුතු වැදගත්ම දේ දන්නවද?

ඔයාගෙ හිත සනීපෙන් තියාගන්න එක.

අලුත් අවුරුද්ද උදාවෙන්න කලින්,

හිතේ තියෙන, ඔයාට, ඔයාගෙ වටේ ඉන්න අයට දෙගොල්ලටම හානිකර, සිතිවිලි අයින් කරගන්න.

මේ ගෙවුණු අවුරුද්ද ගැන ආයෙමත් සැරයක් හිතලා බලන්න.

-ඔයා ගිය අවුරුද්ද තෘප්තිමත්ව ගත කළාද?

-ඔයා ඉලක්ක ටික සම්පූර්ණ කළාද?

-ඔයාගෙ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වුණාද?

-ඔයා අලුතෙන් ඉගෙන ගත්ත දේවල් මොනවද?

-ඔයාගෙ දුර්වලකම් අඳුර ගත්තද?

-ඔයාගෙ හදාගන්න ඕනි කියලා හිතෙන දේවල් මොනවද?

-ඔයාට මුහුණ දෙන්න වුණ අභියෝග මොනවද?

-සමස්තයක් විදියට ගෙවුණු අවුරුද්ද ඔයාට යහපත් විදියට දැනුණද?

මේ දේවල් ගැන ආයෙ ආපස්සට හිතලා බලන්න. ඔයාට ගෙවුණු අවුරුද්ද ඉතාම යහපත් කියලා දැනෙනවා නම්, ඔයාගෙ හිතට අවංක සතුටක් දැනෙනවා නම්, ඔයා ඒ සතුටත් එක්ක අලුත් අවුරුද්ද පිළිගන්න. අලුත් අවුරුද්දෙත්, ගෙවුණු අවුරුද්දටත් වඩා යහපත්ව ගත කරනවා කියලා අරමුණක් තියාගන්න. ඒ වගේම මේ ගැනත් හිතන්න.

-ඊළඟ අවුරුද්දෙදි ඔයා කරන්න හිතන් ඉන්න දේවල් මොනවද?

-අලුත් අවුරුද්දෙදි අලුත් වෙන්න හිතන් ඉන්නෙ කොහොමද?

මේ දේවල් එක්ක අලුත් අවුරුද්ද සැලසුම් කරන්න. අභියෝග කොච්චරක් ආවත් ඒවට ශක්තිමත් විදියට, අලුත් විදියට මූණ දෙන්න අවශ්‍ය මානසික මට්ටමක් ඇති කරගන්න. නොරිදවා නොරිදවී ජීවත් වෙන්න. අනික් අයට වගේම තමන්ටත් ආදරණීය කෙනෙක් වෙන්න. තමන්ට වගේම අනික් අයටත් ආදරණීය වෙන්න. තමන්ට වගේම අනික් අයටත් වුණ දේවල් වලට සමාව දෙන්න. ඔයාගෙ ජීවිතේට ලැබුණු හොඳ දේවල් වෙනුවෙන් කෘතඥ වෙන්න. හැමතිස්සෙම ම මනස සනීපවත් වෙන, සුවවෙන දේවල් හිතන්න; කරන්න.

එහෙනම් ඔයාලා සියලු දෙනාට සැනසීමෙන් පිරුණු, සාර්ථක, සතුටුදායක සුබ අලුත් අවුරුද්දක් වේවා!

Facebook
Facebook