ආදරයෙන් ආදරය කරමු

පෙබරවාරි මාසය ආදරවන්තයන්ගේ මාසය කියනවනේ..

ඉතින් පෙබරවාරි විතරක් ආදරවන්තයන්ගේ මාසය වෙන්න පුළුවන්ද?

ආදරය කියලා කිව්වාම බොහොම සංකීර්ණ මාතෘකාවක්.. කොච්චර සංකීර්ණ මාතෘකාවක් වුණත්  ආදරය කියන්නෙම හරිම සුන්දර හැඟීමක්..

ආදරය කියන්නේ අකුරු හතරක එකතුවක් වුණාට මේ තියෙන්නේ ලෝකේ ලස්සනම අකුරු හතර කිව්වොත් නිවැරදියි.

කුසට දරුවෙක් ආපු දවසේ ඉඳලා ඊට පස්සේ මිනිස් ජීවිතවල සිද්ධ වෙන බොහෝ අවස්ථාවන් වලට මූලික පදනම මේ අකුරු හතර තුළ ඇලවිලා තියෙනවා. මනුස්සයෙක් මේ ලෝකේ එළිය දුටුවා නම් ඒ තවත් ආදරයක ප්‍රතිඵලයක්. ඉතිං ඒ නිසාමයි මම කිව්වේ බොහොම සංකීර්ණ මාතෘකාවක් කියලා මේ මාතෘකාව. ඉදිරියට පැමිණෙන හැම මොහොතකදීම මිනිස්සු සංවේදී වෙනවා. වෙනස් වෙනවා. ඒ තරම් දැනෙන හැඟීමක් තමයි ආදරය. ආදරය ඒ තරම් බලවත්. ආදරය කොයිතරම් බලවත්ද කියනවනම් ආදරයට පුළුවන් මුහුකුරා ගිය මනුස්සයෙක් වුණත් බොළඳ මනුස්සයෙක් කරන්න. කටුක නියං සායට අහුවෙලා ගිය ජීවිතයක් වුණත් ආදරය කියන වර්ෂාවෙන් තෙත් කරන්න. වේළිලා ගිය පුංචි පැළවලට මහ පොළොව කඩාගෙන ඉහළට එන්න ජීවිතය දෙන්න. ආදරය ඇත්තටම ලෝකය ලස්සන කරනවා.

දරුවෙක්ට අම්මෙක් ආදරය කරන විදිහත්, පෙම්වතා පෙම්වතියට ආදරය කරන විදිහත්, සැමියා බිරිඳට ආදරය කරන විදිහත් එකිනෙකට වෙනස් වෙනවා කියන්න අපි කවුරුත් දන්නවා.

හැබැයි ආදරයේදී තවත් කෙනෙක්ගේ හිතක් රිදෙනවානම් තවත් කෙනෙක් අපහසුතාවට පත්වෙනවා නම් එතන කිසිම වෙලාවක ඇත්තටම ආදරය තිබිලා නැහැ.

කොයි විදිහේ ආදරයක් වුණත් ඒ ආදරේ කොන්දේසි විරහිත ආදරයක් වෙනවා නම් තමයි ආදරේ කියන වචනේ නියම අර්ථය දකින්නට අපිට පුළුවන්. කිසිම කොන්දේසියක්, හිර කිරීමක්, අපහසුවක් නොදෙන ආදරයක් ඔයාට ලබා දෙන්න පුළුවන් නම්…

ඒක දවසක්, මාසයක් නොමැතිව ජීවිතය කාලය පුරාවටම නැවත කිසිම දෙයක් බලාපොරොතු නොවී ලබා දෙන ආදරයක් නම්… ඔයත් සැබෑම ආදරවන්තයෙක්… ආදරවන්තියක්…

ඒ කියන්නේ ඔබේ ජීවිතය වටේ ඉන්න පිරිස බොහොම වාසනාවන්තයි. දෙමාපියන් දරුවන්ට කොන්දේසි විරහිතව ආදරය කරනවා.

ඔබට පුළුවන් නම් ඔබේ පෙම්වතියට පෙම්වතාට කොන්දේසි විරහිතව ආදරය කරන්න…

ඔබට පුළුවන් ඔබේ සැමියාට .. බිරිඳට කොන්දේසි විරහිතව ආදරය කරන්න. ඔබ ආදරය ඉදිරියේ බොහොම ඉදිරියේ ඉන්න කෙනෙක්. ඒ වගේම සැබැවින්ම ඔබ ආදරණීය පුද්ගලයෙක්.

බුද්ධිකා කාරියවසම්.

Facebook
Facebook