රෝස මලක අඳෝනාව

බඹර පහසක සුවය නොවිඳා
මිලින වනු දැක කපුරු මල් පෙති
සනුහරේටම නිගා කෙරුවා
රෝස පඳුරක පවා අතු ඉති
ඉපිද මැරෙනා දහම මලකට
නියත හින්දා පිපෙනවා ඇති
ඒ හැරෙන්නට කපුරු කුමට ද
රෝස මලකට හිතෙනවා ඇති..

උජාරුවකින් හිස උදුම්මා
පුංචි කැකුලෙත් සුවඳ විහිදෙති
බඹර ඇරයුම් පසෙක ලනු බෑ
වේදනාවෙහි නිමාවක් නැති
සිය දහස්වර තැලී පොඩි වෙන
කරුමයක්දෝ මේ හිතෙන්නැති
දරුණු විෂ මඟහරිනු නොහැකිව
රෝස මල් හිත හදාගන්නැති

එකෙක් ඉගිලී යද්දි තවකෙක්
පෙති තලන්නට මඟ බලන් ඇති
සුවඳ වියැකී මිලින වෙනකොට
විඳවලා මිස විඳපු තැන් නැති
නසාගනු බැරි නිසා සිය දිවි
හුස්ම වැටෙනා පණ කඳක් නැති
බඹර පහසින් තැලී මැලවුනු
රෝස මලකත් වැටෙනවා හති

ජීවිතේ අවසාන මොහොතෙදි
වරන විට තම තැළුනු මල් පෙති
නොකී දුක්බර කතා ගොන්නක
කඳුලු සඟවා දරාගන්නැති
අහෝ කෙතරම් සැනසුනාදෝ
කියා බඹරුන් නොදුටු මල් පෙති
කපුරු හිනැහෙන අයුරු දකිමින්
රෝස මල් පරවෙලා යන්නැති

උමේෂා පතිරණ
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook
Facebook