ඉසිඹුවක් ලබන්නට

ජීවිතේ කියන්නෙම කපා ඔප මට්ටම් කළ යුතු දෙයක්. එහෙම නැති වුනොත් වල් බිහිවෙලා යනවා. ගරා වැටෙනවා. ඒ නිසාම ජීවිතය නැමැති අධිවේගී දුම්රියේ ගමන් ගන්නා අපි කොහේ හෝ නැවතුමක නතර වී ගිමන් හැරිය යුතුමයි. ලස්සන පරිසරය මොහොතක් විඳින්න, දිය ඇල්ලක පහස විඳින්න, හිරු ගිලෙන හැන්දෑවක මුහුද දිහා බලන් ඉන්න වගේ ඇසට මනසට ප්‍රිය දෙන දේවල්වලින් ඔයාගේ මනස පුරව ගන්න. අලුත් බවක් නැවුම් බවක් ඔයාට දැනේවි. මනස සැහැල්ලු වේවි. වළාකුලක් වගේ ජීවිතේ ගෙනියන්න නම් වැඩ විතරක්ම, සල්ලි විතරක්ම මදි. ඒකට මනසත් සැහැල්ලුවෙන් සතුටින් තියෙන්න ඕනේ.

ඇත්තටම ජීවිතේ කියන්නේ සැහැල්ලුවෙන් පාවෙලා යන වලාකුළක් නම් නෙවේ. එක වෙලාවකට මුලු හදවතම කඩන් වැටිලා කලුවර වෙලා යන වෙලාවල් තියෙනවා. හරියට සුදුම සුදු වළාකුලු එක පාරටම හිතා ගන්නවත් බැරි විදියට බය හිතෙන විදියට කලු වෙලා වැහි දිය බිමට කඩා වැටෙනවා වගේ. අපේ ජීවිතෙත් ඒ වගේ දුක හිතෙන දේවල් කඩා වැටෙන දේවල් තියෙනවා. ඒ වගේම මහ හයියෙන් ගොරවලා අකුණු හතර වටේම විහිදුවන වළාකුලු වගේ අපේ ජීවිතෙන් කෝපයෙන් තරහෙන් ගෙවෙන වෙලාවල්, ඒ වෙලාවට මහ හයියෙන් කෑ ගහල කෝපය පිට කරන වෙලාවල් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ජීවිතේ සමහර වෙලාවල්, දවස් තියෙනවා හරිම ලස්සන ආස හිතෙන සහ ගෙවිල යනවට ලෝබ හිතෙන. හරියට ඉර බැහැගෙන යන හවසට පාට පාටින් මැවෙන සේද වළාකුලු වගේ හරිම සිනිඳුවට ගෙවෙන මොහොතවල් වගේ. ඉතින්,

ඉසියුම් සියුම්

ඉසිඹුවක් ලද විගස

නේක රටා මවමින්

නබෝ ගැබ සරහනා..

නේත්‍රංජනයක් බඳු මේඝයක් විලසින්,

හැඩ දමා ඔපමට්ටම් කළ යුතුය

ජීවිතය..

ඉතින් සියුම් ඉසිඹුවක් ලද විගස පරිසරය විඳින්නට ඔබේ කාලය යොමු කරන්න වගබලා ගන්න. එතකොට තමයි අපේ අනික් වැඩත් කාර්යක්ෂමව සිද්ධ වෙන්නේ. ඒ වගේම ජීවිතේට ලස්සන දේවල් ලැබෙන්නේ, ජීවිතේ තවත් ඔප මට්ටම් වෙන්නේ.

Facebook
Facebook