වෙසක් මහේ අසිරියෙන් ඔබේ සිත් පහන් වේවා!

ලෝ වැසි බෞද්ධ ජනතාව මහත් උත්සවශ්‍රීයෙන් සමරන වෙසක් දිනය ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම යන තෙමඟුල සිහි කරමින් පැවැත්වෙන බව අපි හැමදෙනාම දන්නා කරුණක්. මුලු රටම වෙසක් තොරණ සහ විචිත්‍ර සැරසිලිවලින් අලංකාර වෙන මේ වෙසක් මාසය බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත්වන මාසයක්. ලෝකය පුරා බෞද්ධ දර්ශනය අදහන ජනයා සිටින රටවල් අතරින් ආසියාවේ ශ්‍රී ලංකාව, මැලේසියාව, මියන්මාරය, තායිලන්තය, සිංගප්පුරුව, වියට්නාමය, ඉන්දුනීසියාව, හොංකොං සහ තායිවානය වැනි රටවල ප්‍රසිද්ධ නිවාඩු දිනයක් විදියට මේ වෙසක් දිනය සැලකෙනවා. මේ උතුම් වෙසක් දිනය ලංකාවේ නම් බෞද්ධ අයට විතරක් අයිති දෙයක් නෙවෙයි. කතෝලික, හින්දු වගේම මුස්ලිම් ජනතාවත් සහයෝගයෙන් වෙසක් සැරසිලිවලට, දන්සල්වලට සහභාගි වෙන ආකාරය අපි හැමදාමත් දකිනවා.

ඉතින් මේ සුවිශේෂී වෙසක් පෝය දිනය ලාංකිකයන් වශයෙන් වගේම ලෝක වාසි සියලුම බෞද්ධයන්ට වැදගත් වෙන්නේ ඇයි ?

අප මහා ගෞතම බුදුන් වහන්සේ සුමේධ තාපසව සිට දීපංකර බුදුරදුන්ගෙන් මතු බුදුවීමට නියත විවරණ ලැබුවේ අද වැනි දිනක බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම බුදුන් වහන්සේ කිඹුල්වතට වැඩමවා සිය නෑදෑපිරිවර ඉදිරියේ යමා මහ පෙරහර පා ඔවුන්ගේ මානය දුරු කරලූයේ ද අද වැනි වෙසක් පොහොය දිනයකයි. බුදුරදුන්ගේ අග්‍ර උපස්ථායකව සිටි ආනන්ද තෙරණුවෝ පිරිනිවන් පෑවේත් අද වැනි දිනයකයි. මේ විතරක්ම නෙවෙයි, වෙසක් දිනය කියන්නේ ලාංකිකයන් වශයෙන් අපිට ඉතාමත් වැදගත් වෙන දිනයක්. බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකා ගමනය, රුවන්වැලි මහ සෑයේ ධාතු නිදන් කිරීම, ජය ශ්‍රී මහා බෝධිය අනුරාධපුර මහමළුවේ රෝපණය කිරීමත් සිදු වෙලා තියෙන්නේ මේ අති උතුම් පොහොය දවසේ දී. ලංකාවේ රාජාවලිය ආරම්භ කළ විජය රජතුමා තම්මැන්නාතොටින් ලංකාවට ගොඩබැස තිබෙන්නේත් අද වැනි පොහොය දවසක බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මෙවැනි අතිශය වැදගත් සිදුවීම් නිසා වෙසක් පොහොය බෞද්ධයන් වශයෙන් විතරක් නෙවෙයි ශ්‍රී ලාංකිකයන් වශයෙනුත් අපිට ඉතාමත් වැදගත් දිනයක් වෙනවා.

ඔබ සැමට සදහම් සිසිලෙන් ප්‍රබෝධමත් වූ පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා!

Facebook
Facebook