මානසික සුවපත්භාවයේ වැදගත්කම

පොඩ්ඩක් හිතලා බලන්න අපි ශාරීරික වශයෙන් අසනීප තත්ත්වයකට පත්වුණොත්මොකක්ද මුලින්ම කරන්නේ? ඔබට මුලින්ම මතක් වෙන දෙය තමා පළ පුරුදු වෛද්‍යවරයෙක්ව මුණගැහිලා බෙහෙත් ගන්නව කියන එක. ඔබ දැනගෙන සිටියාද අපි ශාරීරික වශයෙන් වගේම මානසික වශයෙනුත් අසනීපයන්වලට මුහුණ දෙනවා කියලා. බොහෝ දෙනෙක්ට මේ පිළිබඳව පැහැදිලි අදහසක් නැතිවෙන්නට පුළුවන්. හැබැයි ඇත්තටම ගත්තොත් අපි ශාරීරිකව වගේම මානසිකවත් අසනීප තත්ත්වයන් වලට මුහුණ දෙනවා.

ඉතිං ඇත්තටම මොකක්ද මේ මානසික සුවපත් භාවය කියන්නේ, සරලවම ගත්තොත් පුද්ගලයෙකු තම හැකියාවන් නියමාකාරයෙන් හඳුනා ගනිමින් එදිනෙදා පීඩාකාරී සහ ගැටලුවලට නිසියාකාරව මුහුණ දෙමින් ඵලදායි ලෙස ජීවත් වීම මානසික සුවපත් භාවය විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. විවිධ රෝග හේතුවෙන් ද මානසික සුවපත්භාවය නැති වී යයි.

අපි යම්කිසි  පීඩාකාරී  තත්ත්වයකට මුහුණ දුන් විට අපේ මානසික සුවපත්භාවය නැතිවී  යනවා. මානසික සුවපත්භාවය නැතිවී යන්නට විවිධ හේතු බලපානවා. උදාහරණ විදිහට ගත්තොත්,

  • අපේ ළඟම හිතවතෙකුගේ අභාවය
  • විභාගවලින් අසමත් වීම
  • අපි බලාපොරොත්තු වෙන රැකියාව නොලැබීම හෝ විරැකියාව
  • ස්වභාවික ආපදාවලට මුහුණ දීමට සිදුවීම
  • හදිසි අනතුරක් හෝ රෝගාබාධවලට මුහුණ දීමට සිදුවීම
  • පෙම් සබඳතාවයන් බිඳී යාම
  • විවාහ වීම ප්‍රමාද වීම හෝ දික්කසාද වීම

මානසික සුවපත් භාවය නැතිවීමට බලපාන හේතු කිහිපයක් ඉහතින් දක්වා ඇත. මෙවැනි තවත් බොහෝ හේතු මත මානසික සුවපත්භාවය නැතිවී යා හැක. ඉතිං අපි හැමෝටම මෙවැනි අවස්ථාවන්වලට මුහුණ දීමට සිදුවුවහොත් සමහර විටෙක අපගේ මානසික සුවපත්භාවය නැතිවී යයි.

වැදගත්ම කාරණය තමයි මානසික සුවපත්භාවය නැතිවෙලා කියලා අපි කොහොමද දැන ගන්නේ? මේ දේ පිළිබඳව දැනුවත්ව සිටීම අපට වගේම අපගේ පවුලේ අයටද ඉතාමත් වැදගත් වෙයි. අපේ දරුවෙකු වුවද මෙවැනි අවස්ථාවකට මුහුණ දීමට ඉඩ ඇති බැවින් අපි ඒ පිළිබඳව අවබෝධයෙන් ක්‍රියා කිරීම ඉතා වැදගත්. යම් පුද්ගලයකුගේ මානසික සෞඛ්‍යය අඩුවී ඇති බවට අපි හඳුනා ගන්නේ කෙසේද?

  • කනස්සල්ලෙන් සිටීම
  • තනිව සිටීමට ප්‍රිය කිරීම
  • වෙනදා කැමැත්තෙන් කරපු දේවල් වලට දැන් ප්‍රිය නොවීම
  • නින්ද අඩු වීම
  • ආහාර ගැනීමට ඇති කැමැත්ත අඩුවීම
  • නිරන්තරයෙන් කලකිරී ඇති බව පැවසීම
  • සෘණාත්මක සිතුවිලි වලින් යුක්ත වීම
  • තමා පිළිබඳව ඇති වටිනාකම අඩු වී ඇතැයි සිතීම

ඉහත දක්වා ඇති කරුණු මානසික සුවපත් භාවය අඩු වූ අයෙක්ගෙන් අපට දැක ගැනීමට හැකිය. ඔබට හෝ ඔබගේ ළඟම අයෙක් සඳහා මෙවැනි ලක්ෂණ ඇතැයි ඔබට දැනුනහොත් ඔබ වහාම පළපුරුදු මනෝ උපදේශකයකුගේ හෝ මනෝ වෛද්‍යවරයෙකුගේ සේවාව ලබාගත යුතුය.

මානසික සුවපත් භාවය පවත්වාගෙන යෑම සඳහා අපට කිරීමට හැකි දේවල් මොනවාද? ඔබ නිකමටවත් සිතුවාද අපේ විනෝදාංශ තුළින් අපිට මානසික සුවපත් භාවය පවත්වාගෙන යෑමට හැකියි බව. එසේත් නැතිනම් ඔබට සිතෙන්නට පුළුවන් අපිට අවශ්‍ය තරම් මුදල් නැති නිසා මානසික සුවපත් භාවයට අවශ්‍ය දේවල් කිරීමට නොහැකි ලෙසට. නමුත් ඔබ සිතන්නේ නැති පුංචි පුංචි සරල දේවල් වලින් ඔබට මානසික සුවපත් භාවය පවත්වාගෙන යෑමට හැකියි. උදාහරණයක් විදිහට ගත්තොත්,

  • ගීතයක් ගායනා කිරීම හෝ සවන් දීම
  • සුවබර නින්දක් ලබා ගැනීම
  • තමන් කැමති ක්‍රීඩාවක නිරත වීම
  • පොත් හෝ පත්තර කියවීම
  • චිත්‍රපට, වීඩියෝ හෝ කාටූන් නැරඹීම
  • මල් වගා කිරීම හෝ එළවළු වගා කිරීම
  • සුරතල් සතෙක් සමග කාලය ගත කිරීම
  • කැමති ආහාරයක් පිසීම
  • ඔබ කැමති විනෝදාංශයක නිරත වීම

ඉතින් ඔබ නිකමටවත් සිතුවාද ඉහත සඳහන් කර ඇති පුංචි දේවල් වලින් අපේ මානසික සුවපත් භාවය අපිට රැකගන්න පුළුවන් කියලා. අපි සිතන්නැති පුංචි දේවල්වලින් අපේ මානසික සතුට අපිට දීර්ඝ කාලීනව පවත්වාගෙන යා හැකියි. අපි මානසිකව සුවපත් වූ විට අපි මෙන්ම අප වටා සිටින අනෙකුත් පුද්ගලයන් ද සුවපත් වෙයි. විශේෂයෙන්ම අපේ පෞද්ගලික ජීවිතයට මෙන්ම අපගේ දරුවන්ට ද මෙය ධනාත්මකව බලපායි. ඉතින් ඔබට තේරෙනවා ඇති අපගේ පෞද්ගලික ජීවිතයට වගේම අපේ සමාජයේ ජීවිතයටත් මානසික සුවපත්භාවය කොයිතරම් නම් වැදගත්ද කියලා.

ඔබගේ මානසික සුවපත්භාවය වෙනුවෙන් ක්‍රියා කිරීමට මනෝ උපදේශන අංශයේ අප සූදානම්ව සිටිනවා. ඉතින් ඔබට හිතෙනවා නම් ඔබගේ මානසික සුවපත්භාවය අඩුවී ඇති බව, හැකි ඉක්මනින් ආයතනය මනෝ උපදේශිකාව හමුවන ලෙසට ඉල්ලා සිටිනවා.

ඉන්දීවරී විජයබණ්ඩාර
මනෝ උපදේශිකා – බ්‍රැන්ඩික්ස්  රඹුක්කන ආයතනය

Facebook
Facebook