ජීවිතයට වාරු දුන්නේ ඔබයි පියාණෙනි...

අපේ ජීවිතයේ අප පසුපසින් සිටින, යෝධ හෙවනැල්ලක්ව අපව දරා සිටින මුදුන් මූලය විදියට පියා, එහෙම නැත්නම් අප්පච්චීව හඳුන්වන්නට පුලුවන්  ලෝකයේ සිටින සෑම දරුවෙකුගේම පළමු වීරයා වන්නේ ඔහුයි. දරුවෙකු මවගේ කුසට ආ දිනයේ පටන් ඒ දරුවාගේ අනාගතය හැඩගස්වන්නට, පෝෂණය කරන්නට මවට වගේම සුවිශාල වගකීමක් පියාටත් තිබෙනවා. ඉතින් මේ ලෝකයේ සිටින සෑම පියෙක් ම ඒ වගකීම නිරතුරුවම තමාට හැකි අයුරින් ඉටු කරනවා. දරුවෙකු කුඩා කාලයේ දෙපයින් ඇවිද යාමට වාරු දෙන්නේ පියාණන් විසින්. එදා සිට දරුවෙකු උස් මහත් වී ලෝකය දිනන තෙක් ඉමහත් උපේක්ෂාවෙන් බලාසිටින්නේ ද ඔහුයි.

වගකීම් දහසක් මතපැටවුණු ජීවිතයේ බර දන්නේ ඒ බර ඉසිලූ පියවරුන් ම පමණයි. ඉතින් මේ කැපකිරීම්වලට ගෞරවයක් වගේම ඇගයීමක් ලබා දෙන්නට ලෝකය මේ වනවිට පෙළඹිලා තියෙනවා. එහි මූලිකත්වය ගත් රට විදියට ඇමරිකාව දක්වන්නට පුලුවන්. 1910 දී පමණ ඇමරිකාවේ පිළිගැණුනු පියවරුන්ගේ දිනය සැමරීම සෑම වසරකම ජූනි මාසයේ තුන්වන ඉරිදා දිනයට යෙදී තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල් මෙදිනට ලෝක පියවරුන්ගේ දිනය සැමරුවත් ඇතැම් රටවල් ඔවුන්ට ආවේණික වෙනත් දිනවල මෙය සමරනු ලබනවා.  ඇත්ත වශයෙන්ම තමන්ගේ ආසාවන්, බලාපොරොත්තු සිය පවුල වෙනුවෙන් කැප කරන ලොව සියලු පියවරුන්ට එක් දිනයක් වෙන්කර ගරු සත්කාර කළ නොහැකියි. නමුත් ජාත්‍යන්තර වශයෙන් ඔවුන්ට ගරු කිරීමක් වශයෙන් මේ දිනය යොදාගෙන තිබෙනවා. ජීවිතයේ අප්‍රමාණ කැපකිරීම් කරන පියවරුනි, ඔබට සුබ පියවරුන්ගේ දිනයක් වේවා!