සකිය මං නුඹේ පරම මිතුරූ

හීන් නාරං හිඹුටු වේවැල් නොයෙක් පාරට හිතත් පෑරූ..
බාලේ සිහිවෙයි සකිය අපි විඳි පිරිවෙනේ ඒ අයුරු සොදුරූ..
රුදුරු සටනට නොයනු කියමින් නුඹේ මත්තේ ඔහේ නැහුණූ..
මා අතින් වූ මේ වරද ගැන සකිය නුඹ තව වරක් සිතනූ…

කන්ද උඩ ගිණි ඇවිලි ඇවිලි තිබුණු සන්ධිය මතක් කරනූ..
මාලිගා තුන මාරු කරමින් රතෙන් නුඹ ගෙවු කාලේ දරුණූ..
පිරිමි පපුවක පහස සොයමින් ඇයත් විටකදි වුණා වියරූ..
එහෙව් දාකයි මලුවේ සක්මන් හමුවුනේ අපි සසර පතපූ..

ප්‍රමිලා කියමින් රාගේ මත්වුන කිසිදිනක නුඹ නොදුටු ලකුණූ…
හීන් කෙදිරිය පවා දන්නව මායි දුටුවේ ප්‍රේමේ ගැඹුරූ..
දෙනෙත තෙමුනා සුවේ පතලා මායි වැන්දේ දේවී පතිනූ..
මැවිය යුතුමයි සුව වෙන්න ඇගේ නියම රූපය නෙතින් දැකපූ..

ළඟින් හිඳගෙන වරද කෙරුවා කියා නොසිතන් සකිය මියූරූ..
නුඹේ පතිනිය වුණත් ඈ ළඟ හිතේ හිටියේ නුඹේ මිතුරූ..
ඉඳ හිටක නුඹ ගිහින් බැලුවට රාග ගනුදෙණු මතට බැ‍ඳුණූ..
ප්‍රමිලා හෙව්වෙම කවිය රසකල හදවතක් බං ආලේ පිරුණූ…

වරද වූයේ කාගේ අත වුව සසර ගනුදෙණු නිමා කරපූ..
අහිත නොහිතන් ප්‍රමිලා වෙනුවෙන් ප්‍රේම කෙරුවට වෙමින් වියරූ..
මෙයින් මතුවට ඇගේ ළඟ හිඳ කියා දීපන් දිවියේ ගැඹුරූ..
හැකිවුණොත් මට සමාදීපන් සකිය මං නුඹේ පරම මිතුරූ…

සුරංජි
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook
Facebook